ජර්මනි‍යට හදිසියක්.


ජර්මන් බලධාරින් නව ආරක්ෂක උපායමාර්ග සාධාරණීකරණය කරන්නේ, එය ත්‍රස්තවාදය පිළිබඳ භීතිකාවක් ඇති කිරීමේ අදහසින් නොව සිවිල් ආරක්ෂාව වැඩි කිරීමේ අරමුණින් කරන ලද්දක් වශයෙනි. එහෙත් එරට විපක්ෂ දේශපාලන පක්ෂ මෙය දැඩිව විවේචනය කර ඇත.

සීතල යුද්ධය නිමා වී ගෙවී ගිය දශක දෙක හමාරක පමණ කාලසීමාව තුළ පළමු වරට හදිසි තත්ත්වයක් සඳහා සූදානමින් ආහාර ද්‍රව්‍ය හා ජලය රැස් කර තබන ලෙස සිය රටවැසියන්ට දැනුම් දීමට ජර්මනිය පියවර ගත්තේය. ඒ අනුව දින 10කට සරිලන ලෙස ආහාර ද්‍රව්‍යයද දින 05 කට ප්‍රමාණවත් පානීය ජලයද රැස්කර ගැනීමට උපදෙස් දී තිබේ. ජර්මන් රජයේ නව ආරක්ෂක උපාය මාර්ග යටතේ මේ පියවර ගෙන ඇත්තේ හදිසි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමේ සූදානමිනි. මීට අමතරව ඖෂධ, උණුසුම් ඇඳුම් ඇතිරිලි, දැව, ඉටිපන්දම්, විදුලි පන්දම්, බැටරි, ගිනිපෙට්ටි සහ යම් අමතර මුදල් ප්‍රමාණයක්ද නිවසේ තබා ගන්නා මෙන් ඉන් උපදෙස් දී තිබේ.

යම් හෙයකින් එය ‍ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක් වුවහොත් ඊට මුහුණ දීමට හැකිවන පරිදි වසූරිය එන්නත් සහ ප්‍රතිජීවක සංචිත ඉහළ දැමීමටද ජර්මන් බලධාරින් පියවර ගෙන ඇත. දින 90කට ප්‍රමාණවත් අන්දමින් රටේ ස්ථාන 140ක ඉන්ධන සංචිත පවත්වා ගැනීමටද කටයුතු කර තිබේ. න්‍යෂ්ටික, ජෛවවිද්‍යාත්මක හෝ රසායනික අවි ප්‍රහාරයක් සිදුවුවහොත් ඊට මුහුණ දීම සඳහා රෝහල් පරිශ්‍ර සූදානමින් තැබීමේ වැඩපිළිවෙළද මීට අයත්ය.

ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගන්නාවිට ජර්මනිය මේ වනවිට පවතින්නේ රතු කලාපයේය. එනම් අවදානම ඉතා වැඩිය. මෑතක සිදුවූ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම්වල ප්‍රහාර 2 සහ විකෘති මානසිකත්වයකින් යුතු යෞවනයකු සිදුකළ ප්‍රහාරයෙන් පසු ජර්මනියේ තත්ත්වය‍ බෙහෙවින් අවදානම් සහගතය.

සයිබර් තාක්ෂණය ඔස්සේ සිදුවිය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීමට විශේෂ ඒකකයක් පිහිටුවන ලෙස එරට ආරක්ෂක අංශවලට ජර්මන් බලධාරින් දැනුම් දුන්නේද මේ මස මුලදීය.

ජර්මන් බලධාරින් නව ආරක්ෂක උපායමාර්ග සාධාරණීකරණය කරන්නේ එය ත්‍රස්තවාදය පිළිබඳ භීතිකාවක් ඇති කිරීමේ අදහසින් නොව සිවිල් ආරක්ෂාව වැඩි කිරීමේ අරමුණින් කරන ලද්දක් වශයෙනි. එහෙත් එරට විපක්ෂ දේශපාලන පක්ෂ මෙය දැඩිව විවේචනය කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ මෙම උපායමාර්ග හේතුකොටගෙන ජනතාව මුළුමනින්ම සසල වන බවයි.

නව ආරක්ෂක උපායමාර්ග පිටු 69 කින් සමන්විත ලියැවිල්ලකි. ප්‍රසිද්ධියට පත් කිරීමටත් පෙරම එරට මාධ්‍ය ඔස්සේ එය හෙළිදරව් විය. මෙවැනි ආරක්ෂක සැලැස්මක් සීතල යුද සමයේද ක්‍රියාත්මක විය. සෝවියට් සංගමය හා බටහිර රටවල් අතර යුද්ධයක් ඇතිවුවහොත් එහි ඉදිරි පෙරමුණේ සිටින රටක් වශයෙන් සිය රටවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමු විය. ඉන්පසු, 2001 09/11 දී සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුවද 2002 දී සිදුවූ දරුණු ගංවතුර ආපදා අවස්ථාවේදී මෙවැනි සැලැස්මක් ගැන සමා‍ලෝචනය කිරීමට ජර්මනිය ක්‍රියා ක‍ෙළ්ය. කෙසේ වූවද එය ප්‍රකාශයට පත්කිරීමක් සිදුවූයේ නැත.

ජූලි 18 වැනිදා පොරවක් සහ පිහියක් භාවිත කරමින් දුම්රියක ප්‍රහාරයක් සිදුකළ 17 හැවිරිදි යෞවනයා ඇෆ්ගන් සරණාගතයෙකි. එම ප්‍රහාරයෙන් ජර්මානුවන් පස්දෙනෙක් බරපතළ ලෙස තුවාල ලැබූහ. ප්‍රහාරකයා අයි.එස්. සංවිධානයේ ආභාෂය අනුව ගිය අයකු බව හෙළිදරව් විය. ඔහුගේ මනස අන්තවාදය විසින් වෙනස් කර ඇතැයි විශ්වාස කෙරිණි. මේ ප්‍රහාරය මෙන්ම ඊට පෙර ආසන්නයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර 2ද ජර්මනිය නව ආරක්ෂක විධිවිධාන හඳුන්වාදිය යුතුය යන අදහස පෙරට ගැනීමට බලපෑවේය. පෙර කී තරුණයා කළ ප්‍රහාරයෙන් දින 6කට පසු සිරියානු සරණාගතයකු ඇන්ස්බාච් නගරයේ පැවැති සංගීත උළෙලක් අතරතුර බෝම්බයක් පුපුරුවා ගත්තේය. ඉන් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූ අතර එම පුද්ගලයා අයි.එස්.අයි.එස්. වීඩියෝවක පෙනී සිටි අයකු බව පරීක්ෂණවලදී හෙළිදරව් විය.

මේ සිදුවීම්වලින් පසු බැවේරියාහි අභ්‍යන්තර කටයුතු ඇමැති වින්ෆ්‍රෙඩ් බවුස්බැක් සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක සඳහන් වූයේ ඉස්ලාමීය ත්‍රස්තවාදය ජර්මනියට ළඟා වී ඇති බවය. මේ වනවිට ජර්මනිය ආරක්ෂාව තර කිරීමට පියවර ගත යුතු බවට මතයක් ගොඩනැ‍ඟෙමින් පවතී. හමුදා භට පිරිස් එරට වීදිවල රැකවල් තර කිරීමට යෙදවීම ගැන එරට බලධාරින්ගේ අවධානය යොමුව ඇත. එහෙත්, ඒ පිළිබඳ තවමත් වාද විවාද පවතී. යම් හෙයකින් ආරක්ෂක හමුදා එලෙස යොදවනු ලැබුවහොත් දෙවන ලෝක යුද්ධයෙන් පසු එවැන්නක් සිදුවන පළමු අවස්ථාව මෙය වන්නේය.

නව ආරක්ෂක උපායමාර්ගවලට ඇතුළත් තවත් බරපතළ මෙන්ම ආන්දෝලනාත්මක නිර්දේශයක් වන්නේ බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමය. මේ වනවිට එය ජර්මානු රජයේ අවධානයට ලක්ව පවතී. ජාතික අර්බුදයක් හෝ ආපදාවක් අවස්ථාවක එලෙස කළ හැකි බව පෙන්වා දී තිබේ. යම්හෙයකින් එම නිර්දේශය ක්‍රියාවට නැංවුවහොත් එරට පුරවැසියන් ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත කෙසේ වූවද හමුදාවට බඳවා ගැනීමට ආරක්ෂක අංශවලට බලය ලැබේ. ‘ආරක්ෂක හමුදාවන්ට සිවිල් සහය ලබාගැනීම’ යනුවෙන් මෙය හඳුන්වා තිබේ. ඒ අනුව, හමුදාවට සහය අවශ්‍ය වන නොයෙක් කාර්යයන්හි නිරත වීමට ඔවුන්ට සිදුවනු ඇත. අත්‍යවශයෙන්ම ජාතික සේවයේ යෙදිය යුතු බවට පැවැති නෛතික විධිවිධාන 2011 වසරේදී ඉවත්කිරීමට ජර්මන් රජය පියවර ගෙන තිබිණි.

එහෙත් අවශ්‍යතාව මත එය නැවත සක්‍රීය කිරීමට එරට ව්‍යවස්ථාව මඟින්ම බලය පවරා තිබේ.

සිවිල් යුද සමයේදී එරට හමුදාවට විශාල වශයෙන් සිවිල් වැසියන්ගේ සේවය ලබාගැනීම සිදුවිය. එසමයෙහි සක්‍රීය සේවයේ නිරත වූ භට පිරිස ලක්ෂ 5ක් පමණ විනැයි ගණන් බලා තිබේ.

නව ආරක්ෂක උපායමාර්ග පිළිබඳ එරට මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වී ඇති කාරණා අනුව මෙය ක්‍රියාත්මක වීමට අවකාශ තිබුණද මෑතදී ජර්මන් ආරක්ෂක ඇමැතිනී උර්සුල, වොන්ඩර් ලෙයිත් කියා සිටියේ, සිවිල් වැසියන් බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවය. සිවිල් පුද්ගලයන් එලෙස බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ආරක්ෂක ඇමැතිවරිය කියා සිටියද මේ මස මුලදී ඇය අනතුරු අඟවා සිටියේ තම රට ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ පා ඇති බවයි.

ඒ සමඟම ඇය ආරක්ෂක හමුදාවලින් ඉල්ලා සිටියේ පොලිසිය සමඟ සමීපව කටයුතු කරමින් මහා පරිමාණ ත්‍රස්තවාදී ප්‍රහාරයක් වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි. මේ අනුව බලනවිට පැහැදිලිව කිව හැක්කේ එරට නව ආරක්ෂක උපාය මාර්ග නිකම්ම හඳුන්වා දුන් වැඩපිළිවෙළක් නොවන බවය, නිසැකවම එරටට එරෙහිව ත්‍රස්තවාදී අවදානම බලවත් ලෙස මතුවී ඇති බවය. අනෙක් අතට එය ජර්මනියට පමණක් සීමා වූ තත්ත්වයක්ද නොවේ. සමස්ත යුරෝපයටම දරුණු ත්‍රස්තවාදී අවදානමක් ඇති බවට අමෙරිකානු බලධාරින් යළිත් අනතුරු ඇඟවූයේ මෑතදීය. ඉන් නිශ්චිත තර්ජනයක් හෝ ප්‍රහාරයක් ගැන නොදැක්වුණද දැඩි අවධානයෙන් සිටින ලෙස දන්වා සිටී.

ජර්මනිය යනු යුරෝපයේ ආර්ථික බලාගාරයයි. ඉකුත් වසරේ පමණක් එරටට ඇතුළු කරගත් සංක්‍රමණිකයන් සංඛ්‍යාව මිලියන 2.1 කි. එය අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් ප්‍රදේශයේ ජනගහනයට සමානය. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඉකුත් වසරට වඩා දෙගුණයකටත් වැඩියෙන් මේ වසරේ ගත වූ කාලසීමාව තුළ සංක්‍රමණිකයන්ට එරට රැකවරණ ලැබී ඇත.

විශේෂයෙන් සිරියානු සරණාගතයන්ට ඉඩදීමේ දැඩි ස්ථාවරයක ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් සිටී. ඇය පවසන්නේ මේ ප්‍රශ්නය කළමනාකරණය කරගත හැකි බවය. අන් යුරෝපා නායකයන් සරණාගතයන්ට වැට බඳින පසුබිමක ජර්මන් චාන්සල්වරියගේ පියවර අගය කළ හැකි වේ. ඇය පෙන්වා දෙන්නේ දේශපාලනික කාර්යයකදී බිය යනු හොඳ උපදෙසක් නොවන බවයි. එහෙත් මර්කෙල්ගේ ස්ථාවරය විවේචනාත්මකව දකින අය පෙන්වා දෙන්නේ තම රටේ හා රටවැසියන්ගේ ආරක්ෂාව ගැන ජර්මනිය දැඩි ලෙස කල්පනා කළ යුතු බවය. එවැනි තර්කයකට වලංගුතාවයක් ලැබී ඇත්තේ ජර්මනිය, ප්‍රංශය ආදී රටවල මෑතක සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර බොහොමයක් සරණාගතයන් හා සංක්‍රමණිකයන් ලෙස එරටට ඇතුළු වූ හෝ ඔවුන් සමඟ එහි ළඟා වු ත්‍රස්තවාදීන් විසින් සිදුකළ ඒවා බැවිනි.

මෙවැනි පසුබිමක රැකවරණ පතා එහි ඇදී එන පිරිස් වැඩි වශයෙන් ඇතුළු කරගැනීම අනතුරුදායක ක්‍රියාවක් බව බොහෝ අයගේ අදහසය. පසුගියදා එරට අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා කියා සිටියේ විදේශයන්හි ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ ද්විත්ව පුරවැසියන්ට ජර්මානු පුරවැසිභාවය අහිමි කරන බවයි. දැනට ගණන් බලා ඇති පරිදි අයි.එස්. සංවිධානයට සම්බන්ධ හා අන්තවාදී ඉස්ලාම් මතවාදයක පිහිටා කටයුතු කරන 500කට වැඩි පිරිසක් ජර්මනියේ ක්‍රියාත්මකය. එය සැලකිය යුතු තත්ත්වයකි. වර්තාවලට අනුව 2000 වසරෙන් පසු වැඩිම ත්‍රස්තවාදී ප්‍රහාර ජර්මනියෙන් වාර්තා වූයේ 2015 දීය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීම පලක් නැති බව ජර්මනිය තේරුම් ගෙන ඇති සෙයකි. “පැරීසියේ හා බ්‍රසල්ස්හි සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරවලට පෙර ඒ ගැන සිතා ගැනීමට පවා හැකිවූයේ නෑ. ඒ නිසා අපි මේ තත්ත්වයට මුහුණ දිය යුතුයි. සූදානමින් සිටිය යුතුයි....” එසේ පවසා තිබුණේ ජර්මානු ආරක්ෂක ඇමැතිවරියයි.

Share on Google Plus

0 comments:

Post a Comment