සුබ උපන් දිනයක් ඇමති ගයන්ත.


පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ උපන් දිනය අදට යෙදී ඇත.

සෑම ඡන්ද දායකයකුගේම බලාපොරොත්තුව වන්නේ ඔවුන් පත් කළ මහජන නියෝජිතයා දූෂණයෙන් තොරව අවංකව හා සාධාරණව කටයුතු කරනු දැකීමයි. මේ ගුණාංග ප්‍රකට කළ බොහෝ දේශපාලනඥයන්ගේ දේශපාලන ජිවිතය දීර්ඝ වූ බව දේශපාලන චරිත විමසීමේ දී මැනවින් ප්‍රකට වන සාධකයකි. තමා නියෝජනය කරන දේශපාලන පක්ෂය පරාජය වුවද එවන් ජනතාවාදී දේශපාලනඥයෝ ජනතාව විසින් කිසිදා පරාජය නොකරනු ලබති.

දේශපාලනයට අත්පොත් තැබූ දා සිට ඉදිරිපත් වූ සෑම මැතිවරණයකින්ම ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් දකුණේ තරුණ දේශපාලනඥයෙකු වන ගයන්ත කරුණාතිලක මහතා ද ජනතා කැමැත්ත මැනවින් දිනා ඇත්තෙකි. හේ වසර 16ක් අඛණ්ඩව ගාලු දිස්ත්‍රික් ජනතාවගේ මහජන නියෝජිතයකු වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළේය. ඉදිරිපත් වූ සෑම මැතිවරණයකින්ම ඉහළම මනාපය දිනාගත් ගයන්ත කරුණාතිලක මහතා මෙවර මැතිවරණයේ දී වැඩිම මනාප ලබා ගනිමින් දකුණු පළාතෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාපය ලෙස දේශපාලන ඉතිහාසයට එක් කළේය. ඔහු ඉදිරිපත් වූ සෑම මැතිවරණයකින්ම එකින් එකට තම මනාප ප්‍රතිශතය දහස් ගණනකින් ඉහළ නංවා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

වර්තමානයේ කැබිනට් අමාත්‍ය ධූරයට අමතරව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ද හොබවන බැවින් අමතර ආරක්ෂාවක් ලබා ගැනීමේ හැකියාවක් ඇත්තකු වුවද එවැන්නකට ඔහු පෙලඹී නැත. ආරක්ෂකයන් යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහු පවසන්නේ, “මට අමතර ආරක්ෂකයන් ඕනෑ නෑ. ජනතාව මගේ ආරක්ෂාව බලාගනී. ඒ නිසා සුපුරුදු ගයන්ත විදියටම මම වැඩ කරනවා” එම නිසා ඔහු රථවාහන සන්දර්ශන හෝ ආරක්ෂකයන් පිරිවරාගෙන යෑම නිරහංකාරව ප්‍රතික්ෂේප කරයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබුව ද “රාජකීය උණ” හෝ විවිධ භාරධූර අමාත්‍ය තනතුරු හෙබවුවද “ඇමැති උණ” හෝ නොවැලඳුණ එතුමෝ කෙතරම් රාජකාරි පැවැතිය ද මාසයේ සෑම සෙනසුරාදා දිනකම ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 04ක දී තමන්ගේ ඡන්ද දායකයන්ගේ ප්‍රශ්න විසඳීමට ඔවුන් හමුවීමට දින වෙන් කර ඇත. මෙය අඛණ්ඩව ඔහු විසින් ඉටු කරන කර්තව්‍යයකි. සාමාන්‍යයෙන් මැතිවරණයක් ළඟ නැති විට දේශපාලනඥයන් ජනතාව එතරම්ම ගණන් නොගන්නා ලාංකික දේශපාලන රටාව ඔහු ප්‍රතික්ෂේප කර ඇත. එතුමා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් පක්ෂ දේශපාලනයෙන් තොරව මනුෂ්‍යත්වය ගරු කරමින් ක්‍රියා කරන්නෙකු වීම නිසා සැමගේ ජනප්‍රසාදය නොඅඩුව ලබා ඇත්තෙකි.

එතුමන් හමු වීමට එන සියලු වැසියන්ට තමාට හැකි අයුරින් විසඳුම් ලබා දෙන බැවින් සෑම ජන හමුවකම ඔහු වෙත එන ජනතා ප්‍රතිශතය දිනෙන් දින වැඩි වී ඇත. ඔහුගේ දවස දීර්ඝ වූවකි. සෑම දිනකම මධ්‍යම රාත්‍රිය වන තෙක් තම රාජකාරි කටයුතුවල හෝ මැතිවරණ බල ප්‍රදේශයේ මහජන කටයුතුවල නිරත වෙයි.

වර්තමානයේ මාධ්‍ය ඇමැතිවරයා වශයෙන් මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමට කටයුතු කරන කරුණාතිලක මහතා මාධ්‍යවේදීන් සමඟ ගනුදෙනු කළේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කළ අවදියේ සිටය. එක්සත් ජාතික පක්ෂය අසීරු මොහොතකට පත්ව තිබූ යුගයක මාධ්‍ය ප්‍රකාශකයා ලෙස මැදිහත්ව පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් හේ තම මෙහෙවර නිවැරැදිව ඉටු කළේය.

දකුණේ හිනිදුම් පත්තුවේ නියාගම උපන් හෙතෙම නිර්ව්‍යාජ ගැමියෙකි. තරුණ අවදියේ සිටම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අමද්‍යප ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ලැබූ පන්නරය නිසාම ඔහු පුද්ගල චරිත අපකීර්තියට පත් කරන දුශ්චරිත කිසිවකට උරුමකම් නොකියයි.

“මාගේ දෑත් කිලිටි වී නැහැ. මා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නේ මේ පිරිසිදු දෑතින්මයි” යන්න ඔහු සැම විට පවසන තිර වදනකි.

අද දින උපන් දිනය සමරන මේ දකුණේ උපන් නිර්ව්‍යාජ දේශපාලකයාට සුබ උපන් දිනයක් වේවා!

-බුද්ධීෂ මධුශංක අබේගුණවර්ධන 

Share on Google Plus

0 comments:

Post a Comment