ආර්ථික මණ්ඩපයේ අනුශාසනා: බීරි අලින්ට වීණා වැයීමක්.


-නිමල් සඳරත්න

‘ලංකා වාණිජ මණ්ඩලය’ මගින් සංවිධානය කරන ලද, දෙදිනක් තිස්සේ පැවති ආර්ථික සමුළුව තුළ, වර්තමාන ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ සෘජු විවේචනයක් ඉදිරිපත් කෙරුණි. ඒ මගින් සන්නිවේදනය කෙරුණු පොදු පණිවිඩය තුළින් අපේ ආර්ථිකයේ පවතින මූලික දුර්වලතා කිහිපයක් ආවරණය කෙරුණි. ඒවා නම්, අපේ ආර්ථික ප‍්‍රතිපත්තිවල සංගත භාවයක් නැති කම, ෆිස්කල් හිඟය අඩු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ආදායම් ලබා ගත හැකි විධිමත් බදු පද්ධතියක අවශ්‍යතාව, මූල්‍ය සහ ෆිස්කල් ප‍්‍රතිපත්ති අතර අර්ථාන්විත සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම සහ දැනට පැන නැගෙමින් පවතින අර්බුදවලදී තැනේ හැටියට ඇණේ ගසන ක‍්‍රමයක් වෙනුවට කල්තියා සැලසුම් කළ අනුරූපී ආර්ථික ප‍්‍රතිපත්තියක් වහා සකසා ගැනීමේ අවශ්‍යතාව ආදියයි.

මේ නිර්දේශිත ප‍්‍රතිපත්ති පිළිබඳ පාලකයන් ඇත්තෙන්ම සැළකිල්ලක් දක්වයිද? මේ කියන ‘ආර්ථික සමුළුවත්’, මීට පෙර විශේෂඥයන් විසින් දෙන ලද උපදෙස් මෙන්, ගඟට කැපූ ඉණි වැනි තවත් ව්‍යායාමයක් පමණක් වෙයි ද?

රාජ්‍ය මූල්‍ය

අද රට මුහුණදෙන එක් උග‍්‍ර ප‍්‍රශ්නයක් වන්නේ, දළ ජාතික නිෂ්පාදිතයේ අනුපාතිකයක් වශයෙන් ෆිස්කල් හිඟය දැරිය හැකි මට්ටමකට අඩු කර ගැනීමේ අවශ්‍යතාවයි. මේ තත්වය අවබෝධ කරගෙන ඇති වර්තමාන ආණ්ඩුව, මේ වසරේ ෆිස්කල් හිඟය, දළ ජාතික නිෂ්පාදිතයේ අනුපාතිකයක් වශයෙන් සියයට 5.5 ක් දක්වා අඩු කර ගැනීමට අපේක්ෂා කරයි. එසේම ඉදිරි වසර කිහිපය තුළ එය තවත් අඩු කොට, වසර 2020 වන විට එම හිඟය, දළ ජාතික නිෂ්පාදිතයේ අනුපාතිකයක් වශයෙන් සියයට 3.5 දක්වා අඩු කර ගැනීමටත් අපේක්ෂා කෙරේ. ප‍්‍රශ්නය වන්නේ, එම ෆිස්කල් ඉලක්ක වෙත ළඟා වීම සඳහා අවශ්‍ය කරන ප‍්‍රතිපත්ති නිවැරදිව සකස් කොට ගෙන තිබේද යන්නයි.

සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති පිළිබඳ ලී ක්වාන් යූ පීඨයේ සහකාර මහාචාර්ය සහ කොළඹ ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපති මහාචාර්ය රසීන් සලී, රටේ වර්තමාන ආර්ථික තත්වය පිළිබඳ සෘජු විවේචනයක් ඉදිරිපත් කෙළේය. ‘‘ඒ ඒ අවස්ථාවේ හැටියට ආවාට ගියාට බදු අය කරන බවක් පෙනෙන්ට තිබේ. යම් යම් දේවල් පිළිබඳ කල් තියා කිව නොහැකි ගතියකුත්, යම් අස්ථාවර ගතියකුත් නිසා, ව්‍යාපාරික ලෝකය තුළ ඇත්තේ බලවත් කණස්සලකි. එසේම, රාජ්‍ය වියදම් සහ වැටුප් වර්ධනයන්ද අධික ය. හිතුමතේ බදු අය කිරීමෙන් ආණ්ඩුව වැළැකිය යුතු අතර, ෆිස්කල් විනය ස්ථාපනය කොට, දේශීය ව්‍යාපාර වර්ධනය කරමින්, යහපත් ආයෝජන පරිසරයක් ඇති කළ යුතුව ඇති බව ඔහු පෙන්වා දුනි.

වැට් බදු

රටේ පිස්කල් ප‍්‍රතිපත්ති අද පවතින තත්වය ගැන කවුරුත් දන්නා නමුත් වර්තමාන බදු අය කිරීමේ ක‍්‍රමවේදය ගැන දන්නා කෙනෙක් නැත. වැට් බදු අය කිරීමට එරෙහිව නැගෙන විවිධ අංශ වෙතින් නැගෙන විරෝධයත්, ඒවා ක‍්‍රියාත්මක කිරීමේදී දක්නට ලැබෙන ආණ්ඩුවේ වැනෙනසුළු භාවය සහ අනියත භාවයත් නිසා ආණ්ඩුවේ ආදායම් මට්ටම කෙරෙහි ඒ තත්වය ඉතා නරක අන්දමින් බලපායි. ඒ හැරුණු කොට, ජනතාවගෙන් යම් කොටසක් බදු කෙරෙහි දක්වන අප‍්‍රසාදය හේතුවෙන් රටේ රාජ්‍ය මූල්‍ය කෙරෙහි දීර්ඝ කාලීන නරක බලපෑම් ඇති කරනු ලැබේ.

නොපෑහීම

ආර්ථික ප‍්‍රතිපත්තිවල නොපෑහීම්, වසං කිරීම්, පරස්පරයන් සහ අවලංගු කිරීම් අනන්තවත් දක්නට ලැබේ. ප‍්‍රධාන ආර්ථික ප‍්‍රතිපත්ති ගණනාවකට එරෙහිව නැගුණු විරෝධතාවන්ට මුහුණදී සිටින ආණ්ඩුව, ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිතව සිටි ඇතැම් වැදගත් ආර්ථික පියවර ගණනාවක් අතරමගදී අතහැර දමා තිබේ. එම වැනෙනසුළු භාවය නිසා සිදුව ඇත්තේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම දුර්වල වීමයි. එසේම, රටට මුහුණදීමට සිදුව තිබෙන බරපතල ආර්ථික අර්බුදය විසඳීමට ආණ්ඩුවට ශක්තියක් ඇත්ද යන කුකුස, මේ තත්වය තුළ, කෙනෙකු තුළ ඇති කෙරෙයි.

ප‍්‍රතිපත්ති වෙනස්කම්

උදාහරණයක් වශයෙන් 2015 නොවැම්බර් 5 වැනි දා අගමැතිවරයා ඉදිරිපත් කළ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සහ ඊට දින කිහිපයකට පසු මුදල් ඇමතිවරයා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා එකිනෙක නොපෑහේ. අයවැය තුළ ඉදිරිපත් කෙරුණු ඇතැම් කරුණුවලට ආණ්ඩුවේම ඇතැම් කොටස් විරෝධය දැක්වූ අවස්ථාවේ, එක්කෝ ඒවා සංශෝධනය කෙරුණි. නැත්නම් අහෝසි කෙරුණි. අවසානයේදී බැලූ විට, අගමැතිවරයා විසින් කලින් කරන ලද ආර්ථික ප‍්‍රකාශයට මුළුමණින් වෙනස් තත්වයක් අයවැය තුළින් දැක ගත හැකි විය. එසේම එය තුළින් ඉදිරිපත් කරන ලද බදු ප‍්‍රතිපත්තියත් නොපැහැදිළි බවක් පෙන්නුම් කෙළේය. අනතුරුව වැඩි කරන ලද වැට් බදු ක‍්‍රමයත් දැන් එක තැන සිර වී තිබේ. මීට අමතරව, ආණ්ඩුව මගින් ප‍්‍රකාශයට පත්කරන ලද ප‍්‍රතිපත්ති ජනාධිපතිවරයා විසින් වෙනස් කරනු ලැබ තිබේ. මෙවැනි දේවල්, ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති කෙරෙහි විශ්වාසය ගොඩනැගීමට හිතකර නොවේ.

කොටින්ම, මේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති තුළ කරන ලද ඇතැම් වෙනස්කම්, රටේ ආර්ථික ස්ථායීතාව ඇති කර ගැනීමේ ශක්‍යතාවන් පිළිබඳ සැක උපදවයි.

මූල්‍ය ප‍්‍රතිපත්තිය සහ ෆිස්කල් ප‍්‍රතිපත්තිය

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වීරකෝන් විජේවර්ධන, මූල්‍ය සහ ෆිස්කල් ප‍්‍රතිපත්ති අතරේ තිබිය යුතු අනුපූරණය සහ සම්බන්ධීකරණයේ අත්‍යාවශ්‍යතාව පිළිබඳ වැදගත් ප‍්‍රකාශයක් කෙළේය. මේ ප‍්‍රතිපත්ති ද්වය බොහෝ අවස්ථාවල එකිනෙකට නොපෑහෙන තරමේ වෙනස් මාර්ගයන් ගනිමින් එකක් මගින් අනෙක නිෂේධ කරන තත්වයක් දක්නට ලැබුණි. ආණ්ඩුවේ ෆිස්කල් සහ මූල්‍ය ප‍්‍රතිපත්ති පරස්පර වන බව ඔහු එම සමුළුවේදී පෙන්වා දුනි. මහ බැංකුව ස්වකීය මූලික පොලී අනුපාතය පදනම් අංශක 50 කින් වැඩි කොට, ඉන් පසුව ඇතැම් රාජ්‍ය සේවා නිලධාරීන්ට වාහන තීරු බදු සහන සපයා දීම එහිදී ඔහු විශේෂයෙන් උදාහරණ කොට දැක්වීය. මේ ආකාරයට මූල්‍ය ප‍්‍රතිපත්තිය සහ ෆිස්කල් ප‍්‍රතිපත්තිය පටහැනි මාර්ග දෙකක ගමන් කිරීම නිසා, දෙන ලද බදු සහන පියවා ගැනීම සඳහා අනාගතයේදී බැංකු අනුපාතිකය තවත් වැඩි කිරීමට සිදුවනු ඇතැයි ඔහු තවදුරටත් පෙන්නුම් කෙළේය. එසේ නොවුණහොත් දැනට වැඩි කරන ලද මහ බැංකු අනුපාතිකයෙන් ප‍්‍රයෝජනයක් නොලැබෙනු ඇත.

පුළුල් චිත්‍ර​ය

ප‍්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ කේන්ද්‍රයේ පවතින ප‍්‍රශ්නය වන්නේ, රටේ පවතින දේශපාලනික සන්දර්භය සහ සංස්කෘතියයි. අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති කවරේදැයි උපදෙස් දීමට ආර්ථික විද්‍යාඥයන්ට පිළිවන. එහෙත් ශ‍්‍රී ලංකාවේ පවතින දේශපාලනික සන්දර්භය සහ සංස්කෘතිය තුළ ඒවා ක‍්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කර බව පෙන්නුම් කොට තිබේ. වැට් බදු වැඩි කිරීම සම්බන්ධයෙන් රටේ ඇති වූ මහා ආන්දෝලනය ඊට කදිම නිදසුනකි.

ආර්ථික ප‍්‍රතිපත්ති සූත‍්‍රගත කිරීමේ යථාවාදී ස්ථාවරය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් කරන ලද ප‍්‍රකාශනයක් තුළින් මනාව පැහැදිළි කෙරේ: ‘‘අතීතයේ සිට ගොඩගැසී ඇති ආර්ථික වියවුලෙන් ගොඩ ඒම සඳහා සෑහෙන කාලයක් මුළුල්ලේ නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමට අපට සිදුවනු ඇත. එහෙත්, එය කළ යුත්තේ, රජයේ වියදම් පැත්තෙන් සිදු කෙරෙන මහජන සුභසාධන වියදම් කපා හැරීමෙන් නොවේ.’’

ජනාධිපතිවරයා තවදුරටත් මේ කරුණුද පෙන්වා දුනි: ‘‘රටක් වශයෙන් රුපියල් බිලියන 9000 ක ණය කන්දරාවක් ගොඩගැසී තිබේ. මෙය, ජනතාවට මෙන්ම ආණ්ඩුවටද මහා බරකි. මේ අර්බුදය සමනය කර ගැනීම සඳහා අපි ෆිස්කල් ස්ථායීතාව ඇති කර ගැනීම සඳහා පියවර ගණනාවක් ගෙන තිබේ. මේ කලාපයේ වෙනත් රටවල් තුළ ඇති කර ගෙන තිබෙන සංවර්ධනය සඳහා යොදාගෙන ඇති ආර්ථික ප‍්‍රතිපත්ති අපේ රටේ ක‍්‍රියාත්මක කර ගැනීමට පුලූවන් කමක් නැත. මන්ද යත්, මේ රටේ පවතින දේශපාලනික සංස්කෘතිය නිසාවෙනි.

ප‍්‍රතිපත්ති තීරණ නිසා ඇති වන දේශපාලනික සහ සමාජ යථාර්ථයන් ගැන අප සැළකිලිමත් විය යුතුව තිබේ. මේ නිසා, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සහ සමෘද්ධිය වැනි දේවල් සඳහා කෙරෙන වියදම් කප්පාදු නොකර ආණ්ඩුවේ නව ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතුව තිබේ. දේශපාලනික සහ ආර්ථික ගතිකත්වයන් අතර තුලනයක් පවත්වා ගැනීම, කොයි අතින් බැලූවත් තීරණාත්මක කාරණයක් බව අප තේරුම් ගත යුතුය.’’

පුළුල් දෘෂ්ටිය

දේශපාලනික සහ ආර්ථික ගතිකත්වයන් අතර තුලනයක් ඇති කර ගැනීම තීරණාත්මක වනවා සේම, මහජනතාවගේ සිත්සතන් සතුටු කිරීම සඳහාත් වැඩ කිරීමට සිදුවීම නිසා, රටක් වශයෙන් පොදුවේ අවශ්‍ය කරන නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම දුෂ්කර කටයුත්තක් වී තිබේ. රටේ පවතින දේශපාලනික සන්දර්භය සහ දේශාපාලනික සංස්කෘතික වටපිටාව නිසා ප‍්‍රායෝගික සහ යථාර්ථවාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීම උගහට ය.

යහපත් ආර්ථික උපදෙස් සැපයීම වූ කලී, බීරි අලින්ට වීණා වැයීමක් බඳු ය. මේ නිසා ඇති විය හැකි ඉතා අයහපත් ප‍්‍රතිඵලය විය හැක්කේ, විශේෂයෙන් ලෝකයේ ආර්ථික තත්වය යහපත් ප‍්‍රවණතාවක් ගන්නා තත්වයක් තුළ ඇති කර ගත හැකි ප‍්‍රතිලාභ පවා, අපේ රටේ සීග‍්‍ර ආර්ථික සංවර්ධනය ප‍්‍රායෝගික නොවන කර්තව්‍යයක් වීමට ඇති ඉඩකඩයි.

*2016 අගෝස්තු 14 වැනි දා ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ “Advice from Economic Forum: Pouring Water on a Duck’s Back” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Share on Google Plus

0 comments:

Post a Comment