ශ්‍රමික හිඟයෙන් ඉදිකිරීම් අර්බුදයක.


මහා පරිමාණයෙන් ආරම්භ කළ ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑමේදී ශ්‍රමිකයන්ගේ හිඟය උග්‍රව මතුවූ නිසා පසුගිය කාලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු ඇතිවූ බවත්, මේ තත්ත්වයට වහාම විසඳුම් නොසෙවුව හොත් නව ව්‍යාපෘති ඉදිරියට ආරම්භ කිරීමේදී උග්‍ර ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැකි බවත් ඉදිකිරීම් කර්මාන්ත සංගමයේ සභාපති ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා කියා සිටී. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉදිකිරීම් කර්මාන්ත සංගමයේ සභාපති ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, අලුත් තරුණ පරපුර ඉදිකිරී‍ම් ක්ෂේත්‍රයේ රැකියාවලින් ශීඝ්‍රයෙන් ඉවතට යොමුවීමක් පෙන්නුම් කරන බවයි.

විශේෂයෙන් ම මීට පෙර කාලවකවානුවලදී වෘත්තීය නිපුණත්වයක් තිබූ හා නොතිබූ පිරිස් ඉදිකිරීම් ක්ෂේත්‍රයට එකතු වූ බවත්, එහෙත් මෑතකාලීනව ඇතිවී තිබෙන තත්ත්වය නිසා බොහෝ පිරිස් කේෂත්‍රයෙන් ඉවත් වී ඇති නිසා ශ්‍රමිකයන්ගේ හිඟය දරුණු වී තිබෙන බව ද කීවේය‍.

“ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල තිබෙන අනාරක්ෂිත බව, ගැළපෙන වැටුපක් නොලැබීම, සමාජ පිළිගැනීමේ තිබෙන පහත් මට්ටම ආදී කරුණු නිසා තරුණ පිරිස් දැන් මේ කේෂත්‍රයට යොමුවන්නේ නෑ.”

මේ තත්ත්වයට ඇති විසඳුම පිළිබඳ අදහස් දැක්වු සුරත් වික්‍රමසිංහ මහතා “ කොරියාව, ජපානය වැනි රටවල ඉදිකිරීම් කේෂත්‍රයේ රැකියාවල නියුතු අයට ඉහළ වැටුපක්, රක්ෂණ ආවරණයක්, රැකි‍යාවේ සුරක්ෂිත බවක් තිබෙන බවත් ප්‍රකාශ කළ අතර, තවද එම රටවල් ශ්‍රමිකයන් තම රටෙහි තබා ගැනීම සඳහා ආකර්ෂණීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද කීවේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මෙන් නොව ලෝකයේ වෙනත් ර‍ටවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවලදී අනෙක් රැකියාවන්ට සාපේක්ෂව ඉහළ වැටුපක් සහ අමතර දීමනා ලැබෙන බව ද ප්‍රකාශ කළේ ය. මෙවැනි තත්ත්වයට අප රටේ ද ඉදිකිරීම් ක්ෂේත්‍රය යොමු විය යුතු බව අවධාරණය කළ ඒ මහතා රජය මැදිහත් වී නිසි ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවද කීවේය.

මලික් චමින්ද ධර්මවර්ධන

Share on Google Plus

0 comments:

Post a Comment