බැසිල්ගේ වැඩේ බෙදාගන්න දයා, මහ ඇමති මරාගනී.


පසුගිය රජයෙන් ඉදිකර, විවෘත කිරීමට අතපසුව තිබී වෙළෙදුන් විසින් වසරක් තිස්සේ වෙළදම් කරමින් සිටි හිගුරාන සතිපොල ඊයේ (27) උදෑසන නැවත විවෘත කිරීමට ගිය නසීර් මොහමඩ් නැගෙනහිර මහ ඇමතිවරයාට පෙර එහි පැමිණි දයා ගමගේ සහ අනෝමා ගමගේ ඇමති යුවල  සමරුඵලකය බලහත්කාරයෙන් විවෘත කර එහි ආවරණිත රෙදිකඩ මෙන්ම රෙදිකඩ සවිකළ ආවරණය කඩා රැගෙන යෑමේ අශීලාචාර සිද්ධියක් හිගුරානෙන් වාර්තා වේ.

මහ ඇමති නසීර් මොහමඩ් මේ සිද්ධියෙන් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින්  මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම අයිති පළාත් සභාවේ විෂය පථයට අයත් බවත් මේ පුද්ගලයා බලහත්කාරකම් පාමින් කළේ ත්‍රස්තවාදී ක්‍රියාවක් වැනි එකක් බවත්, තමන්ගේ 40 වසරක දේශපාලන ජීවිතයේ මෙවැනි අශීලාචාර වැඩක් සිදුවූයේ අද බවත්ය.

මේ තැනැත්තා කටයුතු කළේ වගකිවයුතු දේශපාලකයෙක් මෙන් නොව වළං කඩයට පැන්න හරකෙක් වගේ යැයි මහ ඇමතිවරයා වැඩිදුරටත්  කීවේය.

මෙම සිද්ධියට අදාළ අතීත කතාව සැකවින් මෙසේය.

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමයේදී රුපියල් කෝටි 3.5 වියදම් කර නෙල්සිප් ව්‍යාපෘතිය යටතේ දමන ප්‍රාදේශීය සභාවේ හිඟුරානට අලුත් සති පොළ ගොඩනැගිල්ලක් හැදුවේය. ව්‍යාපෘතිය රැගෙන ආවේ එවකට ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂය.

හදා නිමකළ සතිපොළ ගොඩනැගිල්ල ආණ්ඩු පෙරළියත් සමග ඔහේ වසා දමා තිබෙද්දී එළිමහනේ වෙළඳාම් කළ වෙළෙන්දෝ එකා දෙන්නා ගොඩනැගිලි තුළට ගොස් සිය ව්‍යාපාර කරගත්හ.

මේ ආකාරයෙන් පුරා අවුරුද්දක් තිස්සේ වෙළෙන්දෝ සතිපොළ ගොඩනැගිල්ල තුළ වෙළඳාම් කළහ.

මේ විවෘත කළ ගොඩනැගිල්ල විවෘත කිරීමට නැගෙනහිර මහඇමති නසීර් මොහමඩ්ට අවශ්‍ය විය. ඔහුගේ නියෝගය මත සමරු ඵලකයක් නිර්මාණය විය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන්, නැගෙනහිර මහ ඇමති නසීර් මොහමඩ් ප්‍රධානත්වයෙන්, නැගෙනහිර  පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්තිගේ ආරාධනයෙන් පළාත් සභා මන්ත්‍රී මෙත්තානන්ද සිල්වා සහ මංජුල ප්‍රනාන්දු ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම ගොඩනැගිල්ල විවෘත කළ බව එම සමරු ඵලකයේ දක්වා තිබිණි.

මේ සමරු ඵලකයේ දයා ගමගේ ගේ හා ඔහුගේ බිරිද අනෝමා ගමගේ ගේ නම් සදහන්ව නොතිබිණි.

අද උදෑසන සමරු ඵලකය නිරාවරණය කර වසරක් තිස්සේ වෙළෙන්දන් වෙළෙදාම් කළ සතිපොළ ගොඩනැගිල්ල  විවෘත කිරීමට නසීර් මොහමඩ් මහ ඇමතිවරයා සූදානම්ව සිටියේය. සංවිධායක මණ්ඩලය ඔහු උදෑසන 10 ට පැමිණ ගොඩනැගිල්ල විවෘත කරන තුරු බලාගෙන සිටියහ.

මේ ආරංචිය ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේටත් ඔහු ප්‍රිය බිරිද ඛණිජතෙල් සම්පත් පිළිබද නියෝජ්‍ය අමාත්‍යනී අනෝමා ගමගේටත් ආරංචි විය.

මහඇමතිවරයා පැමිණීමට පෙර මේ ඇමති යුවතිපති යුවල පළාත් සභා මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු සමග පැමිණ උත්සව ස්ථානයෙන් බැස ගත්හ. කරගන්නට දෙයක් නැතිවූ සංවිධායක මණ්ඩලය බෙර ගසමින් සක් පිඹිමින් ඇමතියුවල පිළිගෙන සමරු ඵලකය ඇති ස්ථානයට රැගෙන ගියහ.

සංඝරත්නයත් වැඩම කර සිටියහ. උන්වහන්සේලාත් මේ ඇමති යුවලට සෙත් පිරිත් කීහ.

දයා ගමගේ ප්‍රාථමික කර්මාන්ත ඇමතිවරයා සමරු ඵලකය විවෘත කරන ගමන්ම එය නිරාවරණය කළ රෙදි කැබැල්ල මෙන්ම එය සවි කර තිබූ ඇලුමිනියම් පටියද අතින් ඇද ගලවාගෙන රැගෙන ගියේය.

පිරිස පිටත් වූ පසු දැන් මහ ඇමතිවරයා සහ පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, පළාත් සභා මන්ත්‍රී මෙත්තානන්ද ඇතුළු කණ්ඩායම පොළ විවෘත කරන්නට පැමිණියහ.

සංවිධායක මණ්ඩලය අසරණ විය. දයා ගමගේ යනවිට රෙදි කැබැල්ල මෙන්ම රෙදි කැබැල්ල සවි කළ ඇලුමිනියම් පටියද රැගෙන ගොස් තිබුණු බැවිනි.

කළ හැකිව තිබුණේ සමරු ඵලකය මොන ආකාරයෙන් හෝ ආවරණය කිරීමය. ඒ සදහා බ්‍රවුන් පේපර් කොල කෑල්ලක් සොයා ගැනුණි. එයින් ඵලකය ආවරණය කෙරිනි.

යළිත් නැටුම් කණ්ඩායම් නටමින් සක් පිඹිමින් මහඇමති නසීර් මොහමඩ්ව සතිපොළ ගොඩනැගිල්ල වෙත ගෙන කැදවාගෙන යනු ලැබිණි.

මහ ඇමතිවරයා සහ ඔහු සමග පැමිණි පිරිස සතිපොල ගොඩනැගිල්ල දෙවන වරටත් විවෘත කරන ලදී.

 මහ ඇමතිවරයා කීවේ මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම අයිති පළාත් සභාවේ විෂය පථයට බවය.

දයා ගමගේ පැමිණ කළ මේ කටයුත්ත ත්‍රස්තවාදී ක්‍රියාවක් වගේ යැයි මහ ඇමතිවරයා කීවේය. තමන්ගේ 40 වසරක දේශපාලන ජීවිතයේ මෙවැනි අශීලාචාර වැඩක් සිදුවූයේ අද බව ඔහු පැවසුවේය. දයා ගමගේ කටයුතු කළේ වළං කඩයට පැන්න හරකෙක් වගේ යැයි මහ ඇමතිවරයා කීවේය.

(lankanewsline)




Share on Google Plus

0 comments:

Post a Comment