කොළඹ වරාය ලංකාවට අහිමිවෙයි?


කොළඹ වරාය තුළ තිබෙන බහාලුම් මෙහෙයුම් පර්යන්ත වැටි තුනෙන් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ තිබෙන නැගෙනහිර බහාලුම් මෙහෙයුම් පර්යන්ත ජැටිය ඉන්දීය සමාගමකට පැවරීමේ කටයුතු සූදානම් කරමින් තිබෙන බව අනාවරණය වේ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, ජාත්‍යන්තර වෙළඳ හා සංවර්ධන ක‍්‍රමෝපාය පිළිබඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම හා මුදල් අමාත්‍යංශයේ උපදේශකවරයෙකු වන ආර්. පාස්කරලිංගම් යන ත්‍රිපුද්ගල ආර්ථික කළමනාකරණ කමිටුව මෙම තීරණය ගෙන තිබේ.

මෙම පර්යන්තය නවීකරණය කර ගෝලීය තරගකාරී සේවා සැපයීමේ තත්ත්වයට පත්කිරීම සඳහා ගෝලීය සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2015 ජූනි මස 22 වැනි දින වරාය ඇමති අර්ජුන රණතුංග විසින් ඉදිරිපත් කර තිබිණි. එම පත‍්‍රිකාවට අනුව ජැටිය නවීකරණය කිරීමට හවුල් කර ගන්නා "ගෝලීය හවුල්කරුවාට" ජැටියේ හිමිකමෙන් 49% ක් ලබාදී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට 51% ක හිමිකමක් තබාගැනීමට යෝජිතව තිබිණි.

නමුත් පසුව එම කැබිනට් සංදේශය වෙනස් කර පෙර සඳහන් කළ කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත වරාය අධිකාරියට 15%ක හිමිකාරීත්වයක් තබාගෙන ඉතිරි 85%ක හිමිකාරීත්වය ඉන්දීය සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.

ප‍්‍රතිසංස්කරණ කටයුතු භාරදීම සඳහා වූ ටෙන්ඩර් කැඳවීම ජූලි 20 වෙනි දින අවසන් කිරීමට නියමිතව තිබී ඇති අතර එය අගෝස්තු 31 වෙනි දින දක්වා යළි දීර්ඝ කර එම කාලය තුළ ඉන්දීය සමාගමක් යොදාගෙන තිබෙන බව හෙළිවේ. කොළඹ වරාය තුළ පවතින එන්.ඒ.ජී.ටී. ජැටිය හා සී.අයි.සී.ටී. ජැටිය චීනය හා ජපන් සමාගම් දෙකකට පවරා  දී තිබෙන අතර වරාය අධිකාරියට එම ජැටිවලින් 15%ක හිමිකාරීත්වයක් පමණක් පවතී. නැගෙනහිර පර්යන්ත ජැටිය ඉන්දීය සමාගමකට පවරා දුනහොත් කොළඹ වරාය ලංකාවට අහිමි වී ගොස් සුළු කොටස් හිමිකරුවකු බවට පමණක් සීමා වේ. 

මේ වනවිට වරාය අධිකාරියේ සේවකයන් 9900ක් පමණ සිටින අතර ඉන්දීය සමාගමකට පැවරුවහොත් ඉන්දීය කම්කරුවන්ගෙන් පිරවීමේ අනතුරක්ද මතුව තිබේ. ඒ අනුව යමින් අනිකුත් විදේශ සමාගම්ද තම රටවලින් කම්කරුවන් ගෙන්වීමට පෙළඹීමේ අනතුර මතුව තිබේ.

-LT

Share on Google Plus

0 comments:

Post a Comment