වරායේ නාස්තියට නාමලුත් හවුල්.


ක්‍රමවේදයෙන් බැහැරව ඉවක් බවක් නොමැතිව වරාය අධිකාරිය සතු මහජන මුදල් රුපියල් ලක්ෂ එක්දහස් තුන්සිය අසූවක් වසර 2010දී හම්බන්තොට වරායට වතුර පිරවීම හා විවෘත කිරීමේ උත්සව සඳහා වැය කිරීමට අදාළ සිදුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමක් තිබුණ බවට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

මේ බව තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොමිසම හමුවට ඉදිරිපත් කර තිබුණි.

එම ලිඛිත සාක්ෂිය වන්නේ ක්‍රියේටිව් හෙලන්කා සමාගමේ අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි මහතා එවකට හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතාට ඉදිරිපත් කර තිබුණ ලිපියකි.

එම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා ජැක්සන් ඇන්තනි මහතාගේ සංකල්පය පිළිගෙන එයට ස්තූතිය ප්‍රකාශ කර තිබෙන බවත්ය. එම නිසා ගිවිසගත් මුදල් ගෙවීමට ක්‍රියා කරන ලෙසට එම ලිපියෙන් ජැක්සන් ඇන්තනි මහතා ප්‍රියත් බන්දු වික්‍රම මහතාට දැනුම් දී තිබේ.

ජැක්සන් ඇන්තනි මහතාට වරාය අධිකාරියෙන් රුපියල් දෙකෝටි නවලක්ෂ තිස්හතර දහසක මුදලක් ගෙවා තිබෙන බව පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත (3819) මහතා සිදු කර තිබෙන විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙම කාරණා අනාවරණය කළේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සභාපතිත්වය දරන මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පී.ඒ පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේදීය. 

Share on Google Plus

0 comments:

Post a Comment