අර්ජුන් පත්තර රස්සාවට බසී.


හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බැණණුවන් වන අර්ජුන් ඇලෝසියස් මහතා දැවැන්ත මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීම සඳහා මේ දිනවල සූදානම් වෙමින් සිටියි.

සිංහල හා ඉංග‍්‍රීසි පුවත්පත් දෙකක්, ගුවන් විදුලි හා රූපවාහිනී සේවා දෙකක් හා වෙබ් අඩවි ජාලයක් ඒ අනුව නුදුරේම ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා දැනට දෙමළ භාෂා පුවත්පතක් වන වීරකේසරී පුවත්පත ප‍්‍රකාශයට පත් කරන හරී සෙල්වනායගම් මහතාගේ එක්ස්ප‍්‍රස් පුවත් සේවය හා එක්ව මෙම මාධ්‍ය ජාලය ආරම්භ කිරීමට නියමිත බව කියති.

අර්ජුන් ඇලෝසියස්ගේ සීයා වන වෙන්සස් ලෝස් එක්ස්ප‍්‍රස් පුවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුට සියයට 25 ක කොටස් හිමිකාරිත්වයක් ද තිබිණ. පසුව එය අර්ජුන්ගේ මවට පවරනු ලදුව ඇය විසින් මේ වන විට එම කොටස් අර්ජුන් ඇලෝසියස් මහතාට පවරා ඇත. එක්ස්ප‍්‍රස් පුවත් සමාගමේ හිමිකරු හරී සෙල්වනායගම් ලයන් බීර නිෂ්පාදනය කරන ලයන් බෘවරි සමාගමේ හිමිකරුවෙකි. අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වන ජෙෆ් ඇලෝසියස් මහතා මෙන්ඩිස් මද්‍යසාර නිෂ්පාදන සමාගමේ හිමිකරුවාය.

එමෙන්ම සන්ඬේ ලීඩර් හා ඉරුදින පුවත්පත් පවත්වාගෙන යාම සඳහා ප‍්‍රතිපාදන සපයන්නේ ද අර්ජුන් ඇලෝසියස් මහතා විසිනි. එහෙත් ඔහු බලාපොරොත්තු වූ මට්ටමින් එම පුවත්පත් ද්විත්වය සාර්ථක නොවීම මත නව පුවත්පත් ආයතනයක් ගොඩනැගීම ඔහුගේ බලාපොරොත්තුව වී ඇත. මේ අතර පසුගිය මහ බැංකු බැඳුම්කර සිද්ධියේ දී මාධ්‍ය හැසිරවීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා මහ බැංකුවට අයත් ගොඩනැගිල්ලක් වන සෙන්ට‍්‍රල් පොයින්ට් හි විශේෂ මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන ගියේය. එහි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් හය දෙනකු සේවය කළ අතර ඒ ලද අත්දැකීම් මත නව මාධ්‍ය ආයතනයක් ගොඩනැගීමේ අදහස පහළ වී තිබේ.

ආරම්භ කිරීමට නියමිත ඉංග‍්‍රීසි පුවත්පතේ සම කර්තෘවරුන් ලෙස ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් දෙපළක් වන හනා ඊබ‍්‍රහිම් හා දිල්රුක්ෂි හඳුන්නෙත්ති තෝරාගෙන ඇති බවත් සිංහල පුවත්පත සඳහා වත්මනෙහි ජනප‍්‍රිය පුවත්පතක කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකුට හා තවත් ඉරිදා පුවත්පතක නියෝජ්‍ය කර්තෘවරයකුට ආරාධනා කර තිබෙන බවත් දැන ගැනීමට තිබේ.

- සුභාෂ් ජයවර්ධන
SathHandha.lk

Share on Google Plus