එජාප 70 වැනි සංවත්සරයට වැඩසටහන් රැසක්.


සැප්තැම්බර් මස 6 වැනිදාට යෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් මස 3දා සිට 10දා දක්වා වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත.

සැප්තැම්බර් මස 3 වැනි දින දිවයින පුරා විහාරස්ථානවල මල්, පහන්, ගිලන් පස, බුද්ධ පූජා සහ බෝධි පූජා ඇතුළු ආගමික වතාවත්ද, පක්ෂයේ අරමුදල ශක්තිමත් කිරීම සඳහා සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව රුපියල් 100 සහ රුපියල් 1,000 සාමාජිකපත් අලෙවි කිරීමද, සැප්තැම්බර් මස 6 වැනි දින පක්ෂයේ 70 වසරක ප්‍රගතිය සමාලෝචනය හා ඉදිරි සැලසුම් සාකච්ඡා කෙරෙන එජාප විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමද 7 වැනි දින සර්වාගමික වතාවත්ද, 10 වැනි දින පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන 70 වැනි මහ සමුළුව කැම්බල් පිටියේදී පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

යහපාලන ජාතික ආණ්ඩුවේ ඉදිරි සිවු වසරේදී එජාපයේ ගමන්මඟ සැකසිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එහිදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

එජාප 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන කිසිදු වැඩසටහනකට රාජ්‍ය දේපළ, සම්පත් හෝ මුදල් යෙදවීමෙන් වැළකී සිටීමේ වගකීම අග්‍රාමාත්‍යවරයා විසින් සියලුම එජාප කොට්ඨාස සංවිධායකයන් වෙත පවරා තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment