රාජසන්තක කළ මිලියන 158.5 ඊරියගොල්ලගේ?


මහ බැංකුවේ තැන්පත් කරන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා ඊයේ (10) නියෝග කළ රුපියල් මිලියන 158.5ක්‌ (පහළොස්‌කෝටි අසූපන්ලක්‍ෂයක්‌) මුදල ව්‍යාපාරිකයකු වන රොහාන් ඊරියගොල්ල මහතාගේ ගිණුමකට බැර වූ මුදලක් බව වාර්තාවේ.

 විනිසුරුවරයා එම නියෝගය කළේ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලද එම නඩුවේ වැඩිදුර විමර්ශනවලට අදාළව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. විනිසුරු නිල මැදිරිය හමුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

රොහාන් ඊරියගොල්ල මහතා 2012 දී පමණ 'පෑන් ඒසියා'  බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතාගේ අනුග්‍රහයෙන් එම බැංකුවෙන් රුපියල් මිලියන 158.5 ක ණය මුදලක් ලබගෙන ඇත. 

නිමල් පෙරේරා මහතා හා රොහාන් ඊරියගොල්ල මහතා ව්‍යාපාරික සගයින් වන අතර,  එම ණය මුදල ලබා ගෙන ඇත්තේ ඔවුන්ගේ  ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙනි.

ජනවාරි 08 ආණ්ඩු පෙරළියෙන් පසු එම ණය මුදල අයකර ගැනීමට ෆෑන් ඒසියා බැංකුව කටයුතු කරද්දී, LOLC සමාගම ලබාදී ඇති ඇපකරය හරහා එම මුදල ලබා ගන්න ලෙස ඊරියගොල්ල මහතා උපදෙස් දී තිබේ.

ඒ අතර තවත් අයෙක් එම ණය මුදලට අදාළ රුපියල් මිලියන 158.5ක මුදලක් ඊරියගොල්ල මහතාගේ ගිණුමට බැර කර ඇත.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකල විමර්ශන හමුවේ  එසේ මුදල් ලැබුන ආකාරය පැහැදිලි කිරීමට ඊරියගොල්ල මහතා අසමත්ව තිබේ. 

කෙසේවුවද, එම මුදල යෝෂිත රාජපක්‍ෂ මහතා විසින් තම බැංකු ගිණුමට බැර කිරීම සඳහා ලබාදුන් බව බැංකු ගිණුම හිමි රොහාන් යන අයගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයට වාර්තා කරමින් විමර්ශන තවදුරටත් පවත්වාගෙන යන බව ඊයේ අධිකරණය හමුවේ පැවැසීය.

සී.එස්‌.එන්. සමාගමේ සභාපති යෝෂිත රාජපක්‍ෂ, ප්‍රධාන විධායක නිලධාරි නිශාන්ත රණතුංග, අධ්‍යක්‍ෂ මණ්‌ඩල ප්‍රධානි රොහාන් වැලිවිට, අධ්‍යක්‍ෂකවරයකු වන කවිශාන් දිසානායක හා වෛද්‍ය අශාන් ප්‍රනාන්දු යන පස්‌දෙනාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

සැකකරුවන්ට එරෙහිව සීඑස්‌එන් ආයතනය ස්‌ථාපිත කිරීමේදී යොදවා ඇති රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනය අතරින් කොටසක්‌ ව්‍යාජ ගනුදෙනු හා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයා ගැනීම, කූඨ ලේඛන සකස්‌ කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම හා සමාගම් පනත උල්ලංඝනය කිරීම යන චෝදනා ගොනුව ඇත.

කලක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ඉහත කී සැකකරුවෝ පස්‌දෙනා මේ වනවිට අධිකරණ නියෝග මත ඇප කොන්දේසි යටතේ මුදා හැර සිටිති.

-SLM

Share on Google Plus