කෝටි 15000ක් අවභාවිත වෙලා


කෝප් වාර්තාවට අනුව රක්නා ලංකා ආයතනය, එයාර් ලංකා, ලංකා පුත්‍ර බැංකුව, මහ බැංකුවේ විදෙස් මිලදී ගැනීම් හා හෙජින් ගිවිසුම නිසා රුපියල් කෝටි 15,000ක මුදල් අවභාවිතයක් සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසීය.

හොරකම් කළ දේ ආණ්ඩුව පවරා ගත් පසු හොරුන් නිදහස්වීමේ සංස්කෘතියක් ගොඩනැගෙමින් පවතින බවත් එය දේශපාලන හිතවතුන්ට පමණක් සිදුවන කටයුත්තක් බවත් ජවිපෙ නායකවරයා අනාවරණය කළේය.

මහජනතාවගේ මුදල් ඔවුන්ට ලබා දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සටන් කරන බවත් මේ සම්බන්ධව ජනතාව දැනුවත් කර ඔවුන්ගේ අයිතිය ලබා දීමට කටයුතු කරන බවත් දිසානායක මහතා කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කී මන්ත්‍රීවරයා යහපාලන බෝඩ් ලෑල්ල එල්ලාගෙන බලය පැමිණි වත්මන් ආණ්ඩුව මහජනතා‍වගේ මුදල් නාස්තිය අවම කිරීමට කිසිදු වැඩපිළිවෙළක් කර නොමැති බව ද පෙන්වා දුන්නේය.

පසුගිය කාලය පුරා ආයතන 19ක් පිළිබඳ පරීක්ෂණයට භාජනය කර කෝප් වාර්තාවේ පළමු කොටස පාර්ලිමේන්තුවේ සභා ගත කර තිබෙන බව ද මන්ත්‍රීවරයා හෙළි කළේය.

රත්නා ලංකා ආයතනය රුපියල් කෝටි 140 ක මුදලක් කිසිදු අනුමැතියකින් තොරව ආයෝජනය කර තිබෙන අතර එම සමාගාම 2014 වසර වන තෙක් ඇවන්ගාඩ් ආයතන සමඟ ගිවිසුම් හයකට එළැඹිලා තිබෙන බවත් ඒ ගිවිසුම් කිසිවක් නීත්‍යානුකූල නොවන බව ද හෙතම පෙන්වා දුන්නේය.

එමිරේට්ස් ආයතනය සතුව 2008 වනතුරු තිබූ එයාර් ලංකා ආයතනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එංගලන්තයේ ගොස් ඉක්මනින් ඒමට නොහැකි වූ නිසා පෞද්ගලික තක්කඩිකමක් හේතුකොට ගෙන රජය වෙත පවරා ගත් බව ද ඒ වන විට ස්ථාවර වත්කම් කෝටි 2500ක් හා ජංගම වත්කම් කෝටි 1500ක් තිබුණ බවද දිසානායක මහතා අනාවරණය කළේය.

නමුත් 2015 වන විට ස්ථාවර වත්කම් කෝටි 400කින් පහළ බැස ඇති බවත් ජංගම වත්කම් හීනව ගොස් ඇති බවත් ඒ නිසා මේ වන විට එයාර් ලංකා සමාගම ජංගම වගකීම් ප්‍රමාණය කෝටි 7500ක් වී ඇති අතර, කෝටි 6200ක ණය ආයතනයක් බවට පත්ව ඇති බව ද ජවිපෙ නායකවරයා කීවේය.

පහුගිය අවුරුදු හත ඇතුළත එයාර් ලංකා පාඩුව කෝටි 10,200 තිබේ. මේ රටේ මහජනයා සියයට එකක්වත් සහභාගී නොවන දෙයකට විශාල මුදලක් ගෙවන්න සිදු වී ඇත.

හෙජිං සූදුවට කැබිනට් අනුමැතිය ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කර තිබූ බවත් හෙජිං ගිවිසුමේ පමණක් පාඩුව කෝටි 1020වන අතර එම ගිවිසුමේ නීති ගාස්තු විතරක් ලක්ෂ 9750ක ප්‍රමාණයක් වියදම් කර ඇති බවත් දිසානයක මහතා පැවසීය.

ලංකා පුත්‍ර බැංකුව ආරම්භයේ දී අරමුණ වුණේ සුළු ව්‍යවසායකින් දිරි ගැන්වීම වු නිසා ණය ලබාදීමට එක් ආයතනයකට දියහැකි උපරිම මුදල වූයේ මිලියන 20ක් වුවත් බෙටන් සමාගම මිලියන 270ක්, ට්‍රයිස්ටාර් සමාගාමට මිලියන 400ක්, ගාමිණි ජේම් සමාගමට මිලියන 200ක් නවලෝක පොලිසැක් සමාගමට මිලියන 119ක් ජී.ටී.බී. සමාගමට මිලියන 100ක් ලබා දී තිබෙන බවට කොප් කමි‍ටුව අනාවරණය කරගෙන ඇත

මේ සියලු ණය දේශපාලන හිතවතුන්ගේ සමාගමට ලංකා පුත්‍ර බැංකුවේ කොන්දේසිවලට පිටින් ණය ලබා දී තිබෙන අතර, ඔවුන් ණය තවමත් ගෙවලා නොමැත. බැංකුවක් අක්‍රියක ණය තියා ගත හැක්කේ සියයට 6 සීමාවේ වුවත් ලංකා පුත්‍ර බැංකු අක්‍රිය ණය සියයට 36 දක්වා වැඩි වී තිබේ. 

Share on Google Plus

0 comments:

Post a Comment