රුපියල් ට්‍රිලියන 1.36ක් සඟවලා.


ඉකුත් රජය සමයේ අවම වශයෙන් රුපියල් ට්‍රිලියන 1.36ක මුදලක් විදෙස් රටවල මෙන්ම  අර්ධ රාජ්‍ය ආයතනවල ගිණුම් හි සඟවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගෝලීය ආර්ථිකයේ කඩාවැටීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති  බව පවසන අග්‍රාමාත්‍යවරයා මේ වසරේ මාර්තු 31 වැනිදා වන විට ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 8.77ක් බව පෙන්වාදෙයි.

කෙසේ වුවද මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව විමර්ශනය කර ලබාදෙන වාර්තාව අනුව සම්පූර්ණ ණය ප්‍රමාණය පිළිබඳව නිශ්චිතව සඳහන් කළ හැකි බවද ඒ මහතා කියයි.

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අග්‍රමාත්‍යවරයාගෙන් ඊයේ ප්‍රශ්න විමසන අවස්ථාවේ දී මුළු ණය ප්‍රමාණය සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉකුත් මැයි මාසයේදී ඩොලර් බිලියන 1.5ක  ණය මුදලක් සහනදායි ගෙවීමේ පදනම යටතේ අනුමත කර ඇති බවත්, කෙසේ වුවද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරමින් නව ආදායම් උත්පාදන මාර්ග සෙවීමට සිදුව ඇති බවත්, අගමැතිවරයා එහිදී කීවේය.

යුද්ධය නිමාවීමෙන් පසු සංවර්ධන කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් වසර 9ක පාලන කාලයේදී ණය ලබා ගන්නා ලදී.

මේ හේතුවෙන් එම කාලයේදී රාජ්‍ය ණය ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ යමින් එය රුපියල් ට්‍රිලියන 7.39ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

කෙසේ වෙතත් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා රාජපක්ෂ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන අතර ඒවා ලබාගත්තේ සංවර්ධන කටයුතු සඳහා බව පවසයි.

Share on Google Plus