පාසල් අනධ්‍යයන සේවිකාවන්ගෙන් 10%කට ලිංගික අතවර.


පාසල්වල සේවය කරන අනධ්‍යයන සේවිකාවන්ගෙන් සියයට 10ක් පමණ විදුහල්පතිවරුන් හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අතින් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.

අනධ්‍යයන කාර්යමණ්ඩල සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කරන්නේ පාසල් කාලය පස්වරු 1.30 ට අවසන් වුව ද අනධ්‍යයන කාර්යමණ්ඩලය පස්වරු 3.45 දක්වා පාසල තුළ රඳවා ගන්නා බවත් මෙම කාලය තුළ මෙම සේවිකාවන් ලිංගික බලපෑම්වලට සහ ලිංගික අතවරවලට ලක් වීමේ ප‍්‍රවණතාවක් ඇති බවත්ය. එමෙන්ම ඇතැම් පාසල්වල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවිකාවන්ව නිවාඩු කාලය තුළ දී ද සේවයට කැඳවන බැවින් එම කාල සීමාව තුළ දී ද මෙම සේවිකාවන් අනාරක්ෂිත බව තිලකරත්න මහතා පවසයි. මේ හේතුවෙන් මෙම සේවිකාවන්ගේ සේවා කාලය සම්බන්ධයෙන් චක‍්‍ර ලේඛයක් වහා නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද තිලකරත්න මහතා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය. 

ඇතැම් විදුහල්පතිවරුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට කොට සායවල් අඳින්නැයි නියෝග කරන බවට වාර්තා වී ඇතැයි ද ඒ මහතා පවසයි.

දිවයින පුරා පිහිටි පාසල්වල අනධ්‍යයන සේවිකාවන් 15,000ක් පමණ සිටින බවත් මේ බලපෑම් පිළිබඳව පැමිණිලි කිරීමට ඇතැම් සේවිකාවන් කටයුතු කර ඇති නමුදු පසුව වැටුප් වර්ධක කප්පාදු කිරීම, දුර පළාත්වලට මාරු කිරීම් සිදුකර පළිගැනීමවලට ලක් කරන බව ද ප‍්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
ලිංගික බලපෑම් සහ ලිංගික අතවර පිළිබඳ පැමිණිලි රැසක් දකුණු පළාත, උතුරු මැද, වයඹ මෙන්ම ඌව යන පළාත්වලින් ලැබී ඇති බව ද වයඹ පළාතෙන් සහ වැලිඔය, මොනරාගල, බදුල්ල යන ප‍්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි බව ද ඒ මහතා ප‍්‍රකාශ කළේය. 

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසුව නමුත් එම මොහොතේ ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට නොහැකි බව ඔහු දැන්වීය.

අදාළ මාධ්‍ය හමුවේ දී අජිත් කේ. තිලකරත්න මහතා හෙළිදරව් කර ඇති කරුණු සම්බන්ධයෙන් අප අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ එවැනි පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ පළාත් අධ්‍යාපන ලේකම්ට ලැබුණහොත් විමර්ශනය කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශය සතු වන බවයි. මාධ්‍ය හමුවේ දී පවසා ඇති ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන සෙසු ආයතනවලට ද පැමිණිලි කළ හැකි බව කී මාධ්‍ය ලේකම්වරයා පැමිණිලිකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වගකීමක් ඇති බව ද පෙන්වා දුන්නේය.

මාධ්‍ය හමුවක දී මෙවැනි කරුණු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් තමන්ට කිව හැක්කේ අදාළ පැමිණිලි ලිඛිතව හෝ වාචිකව විධිමත්ව අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දුනහොත් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකියාවක් ඇති බවයි.

කෙසේ වුව ද මාධ්‍ය හවුවේ දී කී ආකාරයේ හිංසාවන් සිදු වන්නේ නම් ඒ පිළිබඳව නොපමාව අදාළ නීතිමය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ද මාධ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.


Share on Google Plus

0 comments:

Post a Comment