යහපාලනය අර්ථපූර්ණ කළ ඓතිහාසික දේශපාලන පෙරළියක සැමරුම.


ඒකාධිපති පාලනයක කෲර අත්දැකීම් අපේ රටේ ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. අපි ඒ බිහිසුණු අත්දැකීම් විඳිමින් සිටි පිරිසක්‌ වෙමු. එහෙත් මේ රටේ බුද්ධිමත් මිනිස්‌සු ඒ ඒකාධිපති පාලනය පෙරළා දැමුවේ නිර්දයවූත් මාරාන්තිකවූත් ලේ වැගිරීම් සහිත කැරැළිවලින් නොවේ. වඩාත් බුද්ධිගෝචර වූත් ප්‍රජාතන්ත්‍රවාදයේ ගැඹුරු යථාර්ථය රූපණය කරන්නාවූත්, ක්‍රියාවලියකිනි. සියල්ල වෙනස්‌වූයේ නෛතික පිළිගැනීම් සහිත සාධනීය වටපිටාවකය. ඒ උත්කෘෂ්ට වෙනස සිදුවීමෙන් අනතුරුව ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙකේ විචක්‌ෂණ දේශපාලකයන් එක්‌ව ගොඩනගන ලද යහපාලන ආණ්‌ඩුව ඊයේ (17 දා) ස්‌වකීය වර්ෂ පූර්ණය සැමරුවේය. මේ කෙටි ලිපිය ඒ වෙනුවෙනි.

රාජපක්‌ෂ රෙජීමය මේ රට කළ කාලය තුළ නීතියේ ආධිපත්‍යය බිඳ වැටිණි. ජනමාධ්‍ය නිදහස අහෝසි විණි. රාජ්‍ය සේවාවේ ස්‌වාධීනත්වය අන්තයටම කෙලෙසිණි. පොලිසිය කටයුතු කළේ දේශපාලකයන්ගේ වුවමනාවට අනුව මිස යුක්‌තියට අනුව නොවේ. දූෂණ - වංචා - අක්‍රමිකතා ඉහළ ගියේය. දූෂිතයන් නීතියේ රැහැනට ගැනීම දුෂ්කර විය. ඒ දේශපාලකයන්ගේ බලපෑම් නිසාය. සුදුස්‌සාට සුදුසු තැන නොලැබිණි. සංවර්ධනය මුවාවෙන් බරපතළ ගසාකෑම් සිදුවිය. ජාතීන් අතර වෛරය වැපිරිණි. ඔවුහු එකිනෙකා බෙදා වෙන්කොට කා කොටා ගන්නා අර්ධ මනුෂ්‍යයන් බවට පත්කර දේශපාලන වාසි ලබාගත්හ. රටේ විදේශ ප්‍රතිපත්තිය කුමක්‌ දැයි වටහා ගත නොහැකි තරම් ව්‍යාකූල විය. අවසානයේදී ශිෂ්ට සම්පන්න ලෝකය ප්‍රතික්‌ෂේප කළ අවරගණයේ ජාතියක්‌ බවට පත්වීමට අපට සිදුවිය. රටට ආර්ථික සම්බාධක වැටීමේ අවදානමක්‌ නිර්මාණය වූයේය.

වර්ෂ 2014 ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මේ අතරය. ලෝකයේ බොහෝ ඒකාධිපති පාලකයන් කරන්නාක්‌ සේ රාජපක්‌ෂ ආණ්‌ඩුව ලෝකය අමතක කර රටේ මිනිස්‌සුන්ගේ නොමේරූ ජාතිවාදය අමතමින් සිටියේය. අපි ලෝකය හමුවේ හුදකලාවෙමින් සිටියෙමු.

රාජපක්‍ෂ පාලනය මේ රටේ ආර්ථිකය විනාශ කරමින් තිබුණු ආකාරය අනුව වර්ෂ 2015 වනවිට රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටෙන්නට නියමිතව තිබිණි. ඉක්‌මන් ජනාධිපතිවරණයක්‌ පවත්වා ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස්‌ පාර්ලිමේන්තුවේ විශාල බලයක්‌ සහිතව පැමිණ ආර්ථිකය වනසමින්, ණය පිට ණය ගෙන, ජනතාව මත මහා බදු බරක්‌ පටවා මුග්ධ රුදුරු පාලනයක්‌ සදහා ඔවුහු සැලසුම් කර තිබුණහ. ජනතා බලයෙන් පරදා දමනු ලැබුවේ ඒ අශිෂ්ට වුවමනාවය.

ජනවාරි 08 වැනිදා විප්ලවය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන අවස්‌ථාවේ රටේ ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට නොහැකි මට්‌ටමට පැවතිනි. රටේ සියලු සාරය පවුලක්‌ වටා ගොනු විය. වරප්‍රසාද, ප්‍රතිලාභ සහ ආදායම් ජනතාවගෙන් සියයට එකක පමණ ප්‍රමාණයකට ලැබෙන ක්‍රමවේදයක්‌ නිර්මාණය වී තිබිණි. ණය ගෙවන්න තවත් ණය ගැනීමත්, පොලී ගෙවන්න තවත් ණය ගැනීමත්, සිදු කළ විෂම චක්‍රයක්‌ ක්‍රියාත්මක විය. ඒ ක්‍රමය නිසා බහුතරය පීඩා විඳින ලද අතර රටේ අනාගතය අඳුරු විය. 

රටේ පරිණත දේශපාලකයන් එක්‌ව පිහිටුවන ලද යහපාලන ආණ්‌ඩුව පිළිතුරු දෙනු ලැබුවේ මේ අභියෝගයටය. යහපාලන ආණ්‌ඩුව රටේ ආර්ථිකය යථාවත් කරන අතර විශාල සහන ප්‍රමාණයක්‌ ජනතාව වෙත ලබා දුන්නේය. රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් දස දහසක වැටුප් වර්ධකය, විශ්‍රාමිකයින්ට පසුගිය අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක්‌ වැඩි කිරීම, ගෑස්‌ රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්‌සන් රුපියල් 15 කින් අඩු වීම, සස්‌ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාලු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස්‌ රුපියල් 25 කින් අඩු වීම, භූමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම වැනි සහන මේ අතර කැපී පෙනුනේය. මක්‌ නිසාද යත් මේ සහන ලබාදුන්නේ ගිලී යන ආර්ථිකයක අසීරුව අත් දකිමින් වීම නිසාය. රාජපක්‌ෂ රෙජීමය රට ණය උගුලක සිර කර තිබිණි. එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 9500 ක්‌ විණි. රටේ දල ජාතික නිශ්පාදනයෙන් සියයට 74 ක්‌ වැය වී තිබුණේ ණය පොලී ගෙවන්නටය. රාජපක්‌ෂ ආණ්‌ඩුවේ ප්‍රීති දානයන්හි බිල ගෙවන්නට සිදුවී තිබුණේ යහපාලන රජයටය. 

මේ අතාර්කික ණය ගැනීම් හා අනීතික හැසිරීම් නිසා බිඳවැටුණු රට පුනරුත්ථාපනය යහපාලන ආණ්‌ඩුව කරපිට පැටවුණු අතිශයින්ම වගකීම් සහගත සංකීර්ණ කටයුත්තක්‌ විය. පසුගිය රජය කළාක්‌ මෙන් තව තවත් ණය ගැනීමෙන් මේ ප්‍රශ්නය විස¹ගත නොහැක විනි. මේ අනතුරුදායක තත්වයෙන් ගොඩ එන්නට නම් රටේ ආදායම් වැඩි කර ගත යුතු විය. ඒ සඳහා වැඩි වශයෙන් ආයෝජන මෙරටට ලබා ගත යුතුව තිබිණි. රැකියා අවස්‌ථා වැඩි කර ගත යුතු වූයේය. අපේ නිෂ්පාදන සඳහා වඩාත් පුළුල් විදේශීය වෙළෙඳ පොළක්‌ නිර්මාණය කර ගත යුතුව විය. බදු ආදායම් විධිමත් කර ගැනීම කළ යුතු විය. පසුගිය වසර පුරා යහපාලන ආණ්‌ඩුව සැලසුම් සහතගතව කරගෙන ආවේ මේ ආර්ථික පුනරුත්ථාපන වැඩ පිළිවෙළය. ඒ සෑම අවස්‌ථාවකම ආණ්‌ඩුව ක්‍රියා කළේ රටේ නීතියේ ගෞරවනීය බලයට ගරු කරමිනි.

ඒ අතරම පසුගිය වකවානුව පුරා ජාතික ධනය විනාශකරමින් අශ්ලීල වංචාවන්හි යෙදුණු දූෂකයන් නෛතික රාමුව තුළ සිදුවන අධිකරණ ක්‍රියාවලියක්‌ හරහා නීතියේ රැහැනට හසුකරගැනීමේ විධිමත් මෙහෙයුමක්‌ දියත් විය. බලය යොදාගනිමින් කළ දේශාපාලන ඝාතන සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වන්නට විය. ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් මරා දැමූ අයුරු නීතිය ඉදිරියේ විසඳෙමින් ඇත්තේය. රජ පවුලේ කුමාරවරුන් හා ඇති කරගත් බව කියන ගැටුම් නිසා මරා දැමුණු බව පෙනී යන වසීම් තාජුඩීන්ගේ මරණය වසන් කිරීමට නියෝජ්‍ය පොලිස්‌පතිවරු, දේශපාලකයන්, මතු නොව වෘත්තීය සම්භාවනාවට ලක්‌වුණු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් හැසිරී ඇති ආකාරය ගැන අධිකරණය ඉදිරියේ හෙළි වෙමින් තිබේ. රට පැවතුණු බිහිසුණු වතාවරණය පිළිබද මේ හෙළිවන තොරතුරු පමණක්‌ ප්‍රමාණවත්ය. යහපාලනය යනු මේ අශිෂ්ට හැසිරීම් යළිත් ඇති නොවන තැනට රටට වගකියන ජනතා අපේක්‌ෂාවය.

මේ ක්‍රියාවලිය තව වසරක්‌ ඉදිරියට ඇදෙන විට ඉන් උපදිනා මහත් ඵල මේ රටේ මිනිසුන් වඩාත් පැහැදිලිව වටහා ගනු ඇත. එහි විපුල බව රටේ මිනිසුන්ට පෙර දැනෙන්නේ බලලෝභී දේශපාලනඥයන්ටය. පරාජිත රාජපක්‌ෂ රෙජීමය හා කල්ලියක්‌ නිර්මාණය කරගනිමින් සිටිනා දේශපාලකයන් කඩා කප්පල් කරන්නට හදන්නේ මේ රටේ මිනිස්‌සුන් හැමදාමත් ප්‍රාර්ථනා කළ යහපත් සමාජය පිළිබද බලාපොරොත්තුවය. යහපාලන ආණ්‌ඩුවේ ඉදිරි සමාජ ආර්ථික සැලැස්‌ම රටට අත් කර දෙන යහපත ඔවුන් දන්නේය. ආණ්‌ඩුවට වසරක්‌ පිරීමටත් පෙර පා ගමන් සංවිධානය කරමින්, දියපට්‌ටා එන තුරු පයින් ඇවිදිමින් ප්‍රකාශ කරන්නේ ඒ බියෙහි ප්‍රමාණය ය. එමෙන්ම මේ පා ගමන්වල ඉදිරියෙන්ම එන්නේ දූෂණ හා වංචා පිළිබද චෝදනා අධිකරණයේ විභාග වෙමින් ඇති පුද්ගලයන්ය. නීතියෙන් නියතව ලැබෙන දඬුවම හා තමන්ගේ අවකල් ක්‍රියාවන් රටට හෙළිදරව් වීම පිළිබදව බිය මේ හැසිරීම්වලින් ප්‍රකාශිතය.

එබැවින් රටට ආදරය කරන මනුෂ්‍යයන් ලෙස අප තාර්කිකව වටහා ගත යුත්තේ පුද්ගල කේන්ද්‍රීය දේශපාලනය වෙනුවට රටට වඩාත් වැඩදායී හා සපල විවේචනාත්මක දේශපාලන ක්‍රියාවලියක්‌ අන් කවරදාටත් වඩා අද රටට අවශ්‍ය බවය. ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ මුල්ම වරට රටේ ප්‍රධාන පක්‌ෂ දෙකේ දේශපාලකයින් අවබෝධාත්මකව සංධානගතව ඇත. පටු වර්ගවාදී ගෝත්‍රික උවමනාවන් වෙනුවට උත්තුංග ජාතික අපේක්‌ෂාවන් සහිතව ජාතියේ අනාගතය වෙනුවෙන් ප්‍රභාමත් වැඩපිළිවෙළක්‌ ඔවුන් අතින් සකස්‌ වෙමින් තිබේ. මේ නිර්මාණය වෙමින් ඇත්තේ හෙට උපදින අපේ දරුපැටවුන්ගේ ලෝකය ය. අප විසින් ප්‍රාර්ථනා කරන ලද ලෝකය ය. ඒ උතුම් ලෝකය නිර්මාණය කිරීමේ වගකීමෙහි කොටස්‌කරුවන් වීමට මේ රටේ සබුද්ධික මිනිසුන්ට දැන් ඉඩ සැලසී තිබේ. අපි එකා මෙන් එක්‌ව මාතෘ භූමිය වඩාත් යහපත් තැනක්‌ කරමු.

සිරිනාල් ද මැල්
පාර්ලිමේන්තු මන්ත්‍රී, 
ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

Share on Google Plus

0 comments:

Post a Comment