තාජුදීන් ඝාතන පරීක්‍ෂණ රාජපක්ෂ ආරක්ෂකයන් දෙසට.


හිටපු සීආර් සහ එෆ්සී කණ්ඩායමේ රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති ආරක්‍ෂක බලකායේ සාමාජිකයින් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රහස් පොලිසිය පවසයි.

රහස් පොලිසිය මේ බව ඊයේ (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩු විභාගය කැඳවු අවස්ථාවේදී ය.

ජනාධිපති ආරක්ෂක බලකායේ මාණ්ඩලික යුද හමුදා නිලධාරියෙකු වූ උදය නාගහවත්ත නමැත්තාගෙන් ප්‍රශ්න කර ඇති බව අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය කියා සිටියේය.

ඊට අමතරව ජනාධිපති ආරක්ෂක බලකායේ තවත් සාමාජිකයින් හතර දෙනෙකු පිළිබඳව ද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධිය වූ වකවානුවේ නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කල ඩේමියන් ප්‍රනාන්දු නමැති නිලධාරියාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළේය.

තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන් කළැයි සැකපිට රිමාන්ඩ් කරන සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරාට ඇප ඉල්ලමින් ඔහුගේ නීතීඥවරු කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළහ.

එහි වගඋත්තරකරුවන් වන නීතිපතිට, රහස් පොලිස් අධ්‍යක්ෂට හා රහස් පොලිස් ස්ථානාධිපතිට ලබන 31 වැනි දා මහාධිකරණයේ පෙනී සිටින්නැයි මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නොතීසි නිකුත් කළේය.

සුමිත් පෙරේරාගේ නීතීඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ ඉහළ නිලධරයන් විසින් දෙනලද නියෝග ක්‍රියාත්මක කිරීම පමණක් ඔහු විසින් කරන ලද බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විසින් වැඩිදුර විමසීම ලබන 03 වනදා දක්වා කල් තැබීමට නියම කරන ලදී.

සැකකරුවන් ලෙස නම් කර තිබෙන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන අය තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද අධිකරණය නියම කළේය.

(මූලාශ්‍රය - බිබිසි සංදේශය)

Share on Google Plus