තනිවම ආණ්ඩුවකට එජාපය ගණන් බලයි.


යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙක අතර මේවනවිට සිතල යුද්දයක් ආරම්භ වී ඇති අතර, අගමැතිවරයාගේ රාජ්‍යතන්ත්‍රීක ක්‍රියාමාර්ගයන්ට ශ්‍රීලනිප පාර්ශවයෙන් තවදුරටත් බාධා කිරීම් සිදුවන්නේ නම්, මේ වසර අග වන විට විපක්ෂයේ අසුන් ගැනීම හෝ එජාපයේම ආණ්ඩුවක් ස්ථාපිත කිරීම යන දෙකෙන් එකක් තෝරාගන්න ලෙස එජාපයේ ප්‍රබලයින් පිරිසක් අගමැතිවරයාට බලපෑම් කරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉවත් කල ආකාරයත්, ශ්‍රීලනිප ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේදී 'වැට්' බද්දට එකඟවී අනතුරුව ඊට එරෙහිව මාධ්‍ය හරහා විරෝධය පළකිරීමත්, ආණ්ඩුවට සම්බන්ධ සමහර ශ්‍රීලනිප ඇමතිවරුන් රාජපක්ෂවරුන් ලෙසම බලය බෙදාහැරීමේ ක්‍රියාමාර්ගයට බාධා පැමිණවීමත් එජාපයේ බලවත් කනස්සල්ලට හේතුවී තිබේ.

ජනාධිපති බලය යොදා ගනිමින් සිදුකරන එවැනි අතපෙවීම් වලින් එජාපයට බලවත් අසාධාරණයක් වී ඇතිබව එජාපයේ ස්ථාවරය වී ඇත.

මෙවැනි තත්වයක් තුලදී පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදා හැරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම මුලික කරගත් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගැනීමට අගමැතිවරයා බලවත් උත්සාහයක නිරතව සිටින අතර ඊට ද ශ්‍රීලනිප පාර්ශවයෙන් අනිසි බලපෑම් එල්ලවීම සම්බන්ධයෙන් එජාප ඇමතිවරුන් පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පසුගිය දා විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.

නන්නත්තාර වීමට :

නව ව්‍යවස්ථාවක් සඳහා ශ්‍රීලනිප පාර්ශවයෙන් නිසි සහයක් නොදෙන්නේ නම්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්කර ගනිමින් එජාප ආණ්ඩුවක් ගොඩනැගීම සුදුසු බවට එහිදී ඇමතිවරුන් කිහිප දෙනෙකු යෝජනා කර ඇති අතර රාජපක්ෂවරුන් සමග ආණ්ඩු සැදීමට ගොස් දේශපාලනික නන්නත්තරවීමට වඩා විපක්ෂයේ අසුන් ගැනීම වඩා යෝග්‍ය බව තවත් සමහරකුගේ මතය වී තිබේ.

කෙසේවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කටයුතු තම සොයුරු බැසිල් රාජපක්ෂ මහතාට පැවරීමත් සමග කනස්සල්ලට පත්ව සිටින එම සංවිධානයේ මන්ත්‍රීවරුන් අට (08) දෙනෙකු තමන් සමග රහසිගත දේශපාලන සම්බන්ධතාවයක් පවත්වන බව මෙහිදී සඳහන් කර ඇති එජාපයේ ප්‍රබල ඇමතිවරයකු, ඔවුන් දුෂණ චෝදනා එල්ල නොවූවන් බවද අවධාරණය කර තිබේ.

දේශපාලනික වශයෙන් අපේක්ෂා භංගත්වයට පත්ව සිටින ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් 18 දෙනෙකු පමණ තමන් සමග සමීපව කටයුතු කරන බව එජාප තවත් ප්‍රබල ඇමතිවරයකු ද මෙහිදී පවසා ඇත.

ඒ අනුව ශ්‍රීලනිපයේ දෙකඩවීම වාසියට යොදා ගනිමින් අවශ්‍ය ඕනෑම මොහොතකදී එජාපයේ තනි ආණ්ඩුවක් සැදීමට සුදානමින් සිටිය යුතු බවට මෙම හමුවේදී එකඟත්වයට පැමිණ තිබේ.

පාර්ලිමේන්තු සංයුතිය :

මේවනවිට එජාපයෙන් තරඟ කල මන්ත්‍රීවරුන් 106 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර, නැගෙනහිර පළාතින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් තරඟ කල අයකුද පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

ශ්‍රීලනිපයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ගෙන් 50කට ආසන්න පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි.

2020 තෙක්‌ එකටයි !

කෙසේවුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකට තම උපරිම සහයදෙන බව ජනාධිපතිවරයා යලිත් වරක් අවධාරණය කළේය.

ඒ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 08 හි පැවැති මාධ්‍ය හමුවකට එක්‌ වෙමින් එජාප මහලේකම් කබීර් හෂීම් සහ ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරු පැවසුයේ, ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දීර්ඝ කරන බවයි.

පෑනකින් අත්සන් කළ ගිවිසුමට වඩා තම පක්‌ෂ දෙක අතර පවතින අනෝන්‍ය අවබෝධය ප්‍රබල බවත් ඒ විශ්වාසය මත ආණ්‌ඩුවේ ඉදිරි කාලය පුරාවටම එකට කටයුතු කරන බවත් ඔවුහු සඳහන් කළහ.

ජනතා ඡන්දයෙන් බලයට පත්වූ ආණ්‌ඩුවක්‌ එකී නියමිත කාලය ඉක්‌මවා යැමට පෙර පෙරළා දැමීමට ඇතමුන් කටයුතු කිරීම කනගාටුවට කරුණක්‌ බවත් පෙළපාලියකින් උද්ඝෝෂණයකින් වර්ජනයකින් ආණ්‌ඩුවක්‌ බිඳ දැමිය නොහැකි බවත් දුමින්ද දිසානායක මහතා පැවැසීය.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ශ්‍රීලනිපයත්, එජාපයත් අෙන්‍යාන්‍ය විශ්වාසය මත මේ ආණ්‌ඩුව ගොඩනැඟුවේ ජනතා අභිලාෂයන් මුදුන් පත් කිරීමට බවත් ඊට අකුල් නොහෙළන ලෙස තමන් ඉල්ලා සිටින බවත් මහ ලේකම්වරු දෙදෙනා සඳහන් කළහ.

Share on Google Plus