එජාපය විපක්ෂයට?


විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් එකඟ නොවේ නම් ශ‍්‍රීලනිපය සමඟ වන සම්මුතිය බිඳ දමා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයන් රැසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

එමෙන්ම දිගින් දිගටම ශ‍්‍රීලනිපයේ මැතිඇමැතිවරු එජාපයේ රට ගොඩනගන වැඩ පිළිවෙළට බාධාකිරීම මත තවදුරටත් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ඔහුගේ කණ්ඩායම සමඟ කටයුතු කිරීම සිදු කළ නොහැකි බවත් ජනාධිපතිවරයාට හා ඔහුගේ ශ‍්‍රීලනිප කණ්ඩායමට ආණ්ඩුව කරගෙන යාමට ඉඩදිය යුතු බව මෙම ඇමැතිවරුන් දැඩිව පවසා ඇත.

විශේෂයෙන්ම පසුගිය කාලයේ මහත් කතා බහට ලක් වූ මහ බැංකු බැඳුම්කර සම්බන්ධ සිදුවීමේ දී සහ වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපය කටයුතු කළ ආකාරය එජාප ඇමැතිවරුන්ගේ දැඩි විවේච්නයට ලක්ව ඇත. කැබිනට් මණ්ඩලයේ දී එකඟ වී ඉන් එළියට පැමිණ ඊට එරෙහිව ප‍්‍රකාශ නිකුත් කිරීමේ අවස්ථා ගණනාවක් ගැන ද මෙහි දී සඳහන් කර ඇත. ශ‍්‍රීලනිපයේ මෙම අවස්ථාවාදී පිළිවෙතත්, රටේ ආන්දෝලනාත්මක ප‍්‍රශ්නවල දී තමන් ඒ දුටුවේ පත්තරෙන් බව ජනාධිපතිවරයා දිගින් දිගටම පැවසීම ආදී කාරණා නිසා ශ‍්‍රීලනිපය සහ තවදුරටත් සහයෝගයෙන් මේ ගමන යා නොහැකි බව ඔවුන් අවධාරණය කර ඇත. 

පසුගියදා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් එජාපයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනකු සහ පැවැති සාකච්ඡාවක දී මේ බව පවසා ඇත.
මෙම සාකච්ඡාවේ දී ඇමැති මලික් සමරවික‍්‍රම මහතා පවසා ඇත්තේ ශ‍්‍රීලනිපයෙන් වෙන් වී මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින කණ්ඩායමේ සහය ලබා ගෙන ආණ්ඩුවක් පිහිටු විය යුතු බවය. එහෙත් එහි දී ඊට දැඩි විරෝධයක් මතුව තිබේ.  නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා එම කණ්ඩායමේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලූවක් නැතත් ඔවුන් සමඟ කිසිසේත්ම ආණ්ඩුවක් පිහිටුවීම නොවිය යුතු බවට ඇමැතිවරු කිහිප දෙනකු දැඩිව කරුණු දක්වා ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එම කණ්ඩායමේ පූර්ණ සහය ලබා දෙන බවට පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාට පොරොන්දු වී ඇත. 

කෙසේ නමුත් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම් පත් කිරීම මේ දිනවල සිදු වෙමින් පවතී. මේ සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම කෙටුම්පත් කිරීමේ කමිටුව සමඟ දින කිහිපයකට වරක් එක්රැස්වන බව ද දැන ගැනීමට ඇත. මෙහි දී ප‍්‍රධාන වශයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සහ බලය බෙදා හැරීම යන කාරණා තුන සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව පවතී. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව වී ඇත්තේ මෙම කාරණා තුන එකවර ගෙන ආ යුතු නැති බවය. එය රටේ කැලැඹීමකට හේතුවනු ඇති බවත් ජනමත විචාරණයකින් එය පරාජය විය හැකි බවත්   ශ‍්‍රීලනිපයේ අදහස වී ඇත. එසේම විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීම සිදු නොකළ යුතු බව ශ‍්‍රීලනිපයේ ස්ථාවරය වී ඇත. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය පමණක් මේ මොහොතේ ගෙන ඒම කළ යුතු බව මේ වන විට ඔවුන් අගමැතිවරයාට  දන්වා ඇත.  

එහෙත් නැවත වරක් ව්‍යස්ථා සංශෝධන ගෙන එමින් මේ ගැටලූව නිරාකරණය කළ නොහැකි බව එජාපය පෙන්වා දෙයි. එමෙන්ම ඉහත කී යෝජනා තුනම එකිනෙකට සම්බන්ධ බවත් එම කාරණා තුනම එක විට වෙනස් කිරීමකින් තොරව පැලැස්තර දමා ව්‍යස්ථාව සම්බන්ධ ගැටලූව විසඳීම සිදු කළ නොහැකි බවත් එජාපය අවධාරණය කර ඇත. පවත්නා ව්‍යස්ථාවට මේ වන විට සංශෝධන 19ක් එක්කර තිබෙන අතර එය ඉතා සංකීර්ණතාවලින් ගහන ව්‍යවස්ථාවකි.  

ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෙසේ වෙතත් මහින්දවාදීන් හා බහුතර ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ජාතිවාදී ස්ථාවරයක් ගැනීම සිදු විය හැකි බවත් එම තත්ත්වය තුළ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා වන අවශ්‍ය සහාය ශ‍්‍රීලනිපයෙන් නොලැබිය හැකි බවත්  එජාප ඇමැතිවරු පෙන්වා දී ඇත.

විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ අදහස වී ඇත්තේ එය නාමමාත‍්‍රික තනතුරක් නොවිය යුතු බවත් මහජන ඡන්දයෙන් කෙරෙන තෝරා ගැනීමක් වියයුතු බවත්ය. එහෙත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නියොජිතයන් විසින් නම් කරණු අයකු වීම සහ ඔහුට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ලැබීම පමණක් පැවැරෙන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව එජාපය සමඟ සම්බන්ධ විද්වතුන්ගේ මතය වී ඇත. 

කෙසේ නමුත් මීට සති කිහිපයක සිට ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් එජාපයේ ඇති සූදානම  හෙළිදරව් වීම නිසා  ශ‍්‍රීලනිපය වෙතින් මේ වන විට අඩියක් පස්සට ගැනීම සිදුව තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා පසුගියදා කිලිනොච්චියේ පැවැති මහජන හමුවක දී දැඩිව ප‍්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපති ධුරය වෙනස් කරන බවය. එමෙන්ම දෙමළ ජනතාව කෙරෙහි විශේෂ ප‍්‍රශ්නයක් තිබෙන බවත් ඔහු මෙහි දී පිළිගත් අතර බලය බේදා හැරීමක් සහිත එක්සත් රටක් වෙනුවෙන් වන නව ව්‍යවස්ථාවක් කෙරෙහි ඇති එකඟතාව ද මෙහි දී ඔහු කෙරෙන් අනියමින් ප‍්‍රකාශයට පත් විය.

එමෙන්ම පසුගියා 21 වන දින ශ‍්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායක සහ එජාප ලේකම් කබීර් හෂීම් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා පවසා සිටියේ සම්මුතික ආණ්ඩුවේ කාලය 2020 දක්වා දීර්ඝ කෙරෙන බවය. මෙය ශ‍්‍රීලනිපයේ යෝජනාවක් අනුව සිදු කෙරුණු ප‍්‍රකාශයක් වන අතර කබීර් හෂීම් මහතා ද ඊට එක්වීම ගැන එජාපයේ ජ්‍යේෂ්ඨයන්ගේ විරෝධය ද මේ වන විට ඔහුට එරෙහිව පළ වී ඇත. කෙසේ නමුත් සම්මුතික ආණ්ඩුව බිඳී ගියහොත් එය වඩාත්ම හානිදායක වන්නේ ශ‍්‍රීලනිපයටත් ජනාධිපතිවරයාටත් වන අතර එය අනුව තවදුරටත් ඒ රැක ගැනීම ඔවුන්ගේ වෑයම වී තිබෙන බවත් අලියාගේ වල්ගේ එල්ලී පක්ෂය බේරා ගැනීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය උත්සාහ ගන්නා බව එජාපයේ ඇමැතිවරු පවසයි.

කෙසේ නමුත් මේ වන විට එජාප නායකයා සහ ජ්‍යේෂ්ඨයන් පිරිසක් තීරණය කර ඇත්තේ නව ව්‍යවස්ථාව වෙනුවෙන් දැඩිව පෙනී සිටීමටය. එමඟින් සිවිල් සමාජයේ ද සුළු ජාතිකයන්ගේ ද සහාය සහ ප‍්‍රසාදය එජාපයට අත්විය හැකි බවත් මෙහි දී පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමේ හැකියාවත් එජාපයට තිබෙන බවටත් මේ වන විට ගණන් බලා ඇත. සම්මුතික ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ වාඩිවීම කෙසේ වෙතත්  තනිවම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ගැනීම මලික් සමරවික‍්‍රම මහතා භාරගෙන ඇති බවත් වාර්තාවේ.  එජාපයට පාර්ලිමේන්තු අසුන් 106ක් ඇති අතර මුස්ලිම් කොංග‍්‍රසයේ නැගෙනහිර මන්ත‍්‍රී ධුරය ද  දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී ධුර 14 ද සහයෝගය මේ වෙනුවෙන් ලැබෙනු ඇති බව එජාපයේ මතය වේ. 

මේ වන විට මලික් සමරවික‍්‍රම මහතා මහින්දවා දී විපක්ෂයේ මන්ත‍්‍රීවරු 8 දෙනකු සමඟ සාකච්ජා පවත්වමින් සිටින අතර ඔවුන් එජාප ආණ්ඩුවකට එක්වීමට ද කැමැත්ත පළ කර ඇත. එසේම එජාපයේ තවත් ඇමැතිවරුන් කිහිප දෙනකුම අගමැතිවරයාට දැනුම් දී ඇත්තේ මහින්ද රාජපක්ෂ සමඟ යළි එක්වීම සඳහා ශ‍්‍රිලනිපයේ ඇතැම් නායකයන් ගෙන යන වැඩ පිළිවෙළ සහ කලකිරී සිටින මැතිඇමැතිවරු 18 දෙනකුගේ කැමැත්ත එජාපය පිහිටුවන නව ආණ්ඩුවකට එක්කර ගැනීමේ හැකියාව තිබෙන බවය. ඒ අනුව එජාපයට ආසන 147ක බලයක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කර ගත හැකි බවත් නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය වන ආසන 150 සම්පූර්ණ කර ගැනීම සිදු කර ගත හැකි බවත්ය. ආණ්ඩු බලය තිබෙන පැත්තට මන්ත‍්‍රීවරුන් ඇදී ඒම මත මෙය පහසු කරුණක් වනු ඇති බවත් එජාපයේ අදහස වී තිබේ.

කෙසේ නමුත් පසුගිය සිකුරාදා අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ දී ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ආණ්ඩුව බිඳ නොවැටෙන බවත් මහින්දවාදීන්ගෙන් කිහිප දෙනකු ආණ්ඩුවට එකතු වන බවත්ය.

මෛත‍්‍රී පාර්ශ්වය සහ මහින්ද පාර්ශ්වය එක් කිරීම සඳහා මේ වන විට පත් කළ මන්ත‍්‍රී මලිත් ජයතිලක මහතා ප‍්‍රමුඛව ජෝන් සෙනෙවිරත්න ආදීන් විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇත. මෙහි දී මලිත් ජයතිලක මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර ඇත. ජනවාරි 08 වනදා වූ වෙනස සම්බන්ධයෙන් කෘතියකට කරුණු එක්රැස් කරනවා යැයි කියමින් ඔහු මහින්ද පාර්ශ්වයේ මන්ත‍්‍රීවරු මුණ ගැසී ඇත. කෙසේ නමුත් ශ‍්‍රීලනිප උපදේශිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යළි රාජපක්ෂවරුන් පක්ෂයට තුළට ගෙන ඒමට ගන්නා උත්සාහයට දැඩිව විරෝධය පළ කර  තිබේ.

ජනාධිපතිවරයා නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කිලිනොච්චියේ දී සුබවාදී ලෙස අදහස් පළ කිරීම සිදු වූව ද ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් වෙතින් ඊට පරස්පර අදහස් පළවීම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයකුගෙන් අප කළ විමසීමක දී ඔහු පවසා සිටියේ සම්මුතික ආණ්ඩුව සම්බන්ධයෙන් ප‍්‍රශ්න ඇති කරන්නේ ජනාධිපතිවරණයෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සමීප වූ පිරිස වෙතින් බවය. එහෙත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ නොවන බව සඳහන් කර තිබීම මත එජාප විරෝධී ශ‍්‍රීලනිප මෛත‍්‍රීවාදීන් ද සිටින්නේ විධායකය පැවැතිය යුතු මතයේ බව ද ඔහු පවසා සිටියේ ය. එහෙත් මේ සම්බන්ධයෙන් එජාපයේ මතය වන්නේ එම ප‍්‍රතිපත්ති ය වලංගු වන්නේ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පමණක් බවත්  නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ දී ඒ වලංගු නැති බවය. එමෙන්ම ජනාධිපතිවරණ සටනේ ප‍්‍රමුඛ සටන් පාඨයක් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම බවත් එය මේ මැතිවරණ ප‍්‍රකාශයක් මත මඟ හැර යාමට ඉඩ දිය නොහැකි බවත්ය.

- සුභාෂ් ජයවර්ධන
SathHandha

Share on Google Plus