රාජිතගේ සැඟවුණු ටූනා මාළු කොල්ලය.


මනාප ඡන්ද ක‍්‍රමය නිසා එක ම පක්ෂයේ අපේක්ෂකයන් ගහ මරා ගන්නා බව පාලකයන් අපට කියන කතාව ය. ජනතාවගෙන් වැඩි දෙනෙකු ද එය එසේ ම බාර ගෙන සියලූ දෝෂ ධූරිභූත කිරීමට මනාපවලට මරා ගැනීමේ මේ ඡන්ද ක‍්‍රමය වෙනස් කළ යුතු බව සිතති. එයට පොහොර දමන විවිධ සංවිධාන සහ සිවිල් පුද්ගලයන්ගෙන් ද අඩු නැත. කෙසේ හෝ ජනතාවගේ ඡන්දය කොල්ලකා පාර්ලිමේන්තුවට පැනගෙන ඇමති කට්ටක් ලබා ගත් පසු කරන කියන බොහෝ දේ ජනතාව දන්නේ නැත. ඔවුන් දන්නේ එක ම පක්ෂයේ අපේක්ෂකයන් මනාප පොරයට කුළල් කා ගත් බව පමණි. ජනතාව නොදන්නා ඇත්ත තත්වය නම් ඇමති කට්ටක් ලබා ගත් පසු ඔවුන් අතරේ කුළල් කා ගන්නා වෙනත් බොහෝ කරුණු නිර්මාණය වන බව ය. එවැනි බොහෝ දෑ තවමත් එසැණින් එළියට නො එන්නට හිර කරගෙන සිටීමට සමත්ව තිබේ. මෙවැනි කුළල් කා ගැනීමකට ප‍්‍රබල නිදර්ශනයක් වන්නේ 2010ට පෙර සිටි ධීවර ඇමති ෆීලික්ස් පෙරේරා සහ පසුව පත් වූ ධීවර ඇමති රාජිත සේනාරත්නගේ කුළල් කා ගැනීමයි. 2010 අවසානයේ පමණ කුළල් කා ගැනීම ඇරඹී සීතල යුද්ධයක්ව පැවතියේය. මෙය ක‍්‍රමයෙන් වර්ධනය වී 2013 අගෝස්තු පමණ වන විට පුපුරා එළියට පැමිණිණ.

එම කුළල් කා ගැනීමට හේතු වුණේ මාළු හුටපටයකි. අත යටින් කෙරෙන විදේශ මාළු ගෙන්වීමේ ක‍්‍රියාවලියක් තමන් සන්තකයේ දිගට ම තබා ගැනීමට ෆීලික්ස් පෙරේරා උත්සාහ කළ අතර, එය තමන් සන්තක කර ගැනීමට එවකට සිටි ධීවර ඇමති රාජිත සේනාරත්න ක‍්‍රියා කිරීම ය. ගැටීමට මුලපිරුණේ එසේ ය. මේ දෙදෙනා බිස්නස්වලදී ගැටුණ ද, 1980 දශකයේ අවසාන භාගයේ රාජ්‍ය මර්දනයට එක සේ දායක වූ දේශපාලන සමගාමිකයන් වෙති. හරි ම බඩු දෙකක් ලෙස එක සීරුවට ගජමිතුරුකමෙන් එවක දී ක‍්‍රියා කර තිබිණි. කෙසේ වුවත්, සල්ලිවලට මුල් තැන දෙන දේශපාලනයේ හෝ අනෙකුත්  ඕනෑ ම දෙයකට ස්වභාවය වන "කලකදී රහලු, කලක දී වහ වෙනවාලූ" යන න්‍යාය අනෙක් පිට හැරී ඇත්තේ ය.

මාළු බිස්නස් එක නිසා හිටපු ධීවර ඇමති වූ ෆීලික්ස් පෙරේරා (2010ට පෙර) සහ අලුතින් පත් වූ ධීවර ඇමති (2010 අප්‍රේල් මහ මැතිවරණයෙන් පසු) රාජිත සේනාරත්න අතර සියලු රසබර අතීතයන් වහ බවට පත් වූයේ ය. 2013 අගෝස්තු පමණ පාර්ලිමේන්තුවේ දී ම ෆීල්ක්ස් පෙරේරා විසින් ඇමති රාජිත සේනාරත්නට විරුද්ධව වෙඩි මුරය ප‍්‍රසිද්ධියේ පත්තු කළේ ය. කෙළවල්ලන් වෙළෙඳපොළ බෙදා ගැනීමට නොව බදා ගැනීමට තිබුණු සීතල යුද්ධය ප‍්‍රකාශිත වාග් සංග‍්‍රාමයක් සේ පුපුරා ගියේ මෙසේ ය.

එය මාළු වෙළෙඳපොළ බෙදා ගැනීමේ එක් ගෝරියක් පමණි. අපට තිබෙන තොරතුරු අනුව මෙරටට මාළු ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් විවිධ ආකාරවලට ක‍්‍රියාත්මක කෙරෙමින් පවතී. මෙරට ප‍්‍රධාන පෙළේ ධීවර මුදලාලිලා කිහිපදෙනෙක් විශාල ට්‍රෝලර් යාත‍්‍රා යොදවා ධීවර අස්වැන්න නෙළා ගැනීම වෙනුවට වෙනත් කටයුත්තක නිරත වේ. ඈත දියඹේ දී විදේශ යාත‍්‍රාවලින් මසුන් අඩු මිලට ලබාගෙන රට තුළට ගෙන ඒම එක් ආකාරයක ජාවාරමකි. අඩු මිලට මසුන් මිල දී ගෙන අඩු වියදමකින් විශාල මසුන් තොගයක් රට තුළට ගෙන ඒම එමඟින් සිදු කරයි. වෙනත් ලෙසකින් කියන්නේ නම්, ඉන්ධන සඳහා වැය වන වියදම සහ කම්කරු කුලී අවම කර ගැනීම විදේශ යාත‍්‍රාවලින් මසුන් ගැනීමෙන් ලබා ගත හැකි ඉහළ ම ලාභයක් වේ. ධීවර මුදලාලිලා අත තිිබෙන මෙම වෙළෙඳාම ඇමතිවරුන් යටතට ගැනීමට තිබුණේ සහ තිබෙන්නේ පොඩි සටනක් නොවේ.

එය අමතර කරුණකි. නිල වශයෙන් මෙරටට වාර්ෂිකව රුපියල් කෝටි දහස් ගණනක මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන ගෙන එනු ලැබේ. පසුගිය 2015 වර්ෂයේ දී ඩොලර් මිලියන 218ක් හෙවත් ලංකාවේ රුපියල් මිලියන 29,800ක පමණ මාළු ගෙන්වා තිබීම මේ බව තහවුරු කෙරෙන හොඳ ම නිදසුනකි. මෙම වසරේ මුල් මාස දෙක තුළ දී ඩොලර් මිලියන 35.2ක් හෙවත් රුපියල් මිලියන 5,100කට අධික මත්ස්‍ය නිෂ්පාදන මෙරටට ගෙන්වා තිබිණ. රට වට කර මහා සාගරය තිබුණ ද, ඒ තුළ මත්ස්‍ය අස්වැන්න ටොන් ලක්ෂ ගණනක් තිබුණ ද මේ අරුම පුදුම පාලකයන් සිටින රටේ හැටි ඔය වැනි ය. මේ තුළින් හෙළි වී තිබෙන අමතර කරුණු රැසකි.

ජපානයේ සහ චීනයේ මසුන් මිල දී ගෙන මෙරටට ගෙන ඒමේ ජාවාරමක් හොර රහසේ ම ක‍්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා පසුගිය ආණ්ඩුවේ ඉහළ ම බලවතුන්ගේ අනුග‍්‍රහය ලැබී තිබුණු බව කියැවේ. මේ අතර, හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට ටූනා මත්ස්‍ය ඉල්ලමක් පහළ වී ඇත. ජපානයේ විශේෂ ඉල්ලීමක් තිබෙන ටූනා මත්ස්‍යයන්ගේ අදාළ ප‍්‍රමිතියට අයත් නොවන කුඩා මාළු කූරියන් විකුණා දමයි. මෙරට අර්ධ රාජ්‍ය ආයතනයක් වන මත්ස්‍ය සම්පත් පර්යේෂණ ආයතනයේ අනුමැතිය ඇතිව එම ටූනා මාළුන් මෙරටට ආනයනය කෙරේ. රුපියල් මිලියන 30,000කට ආසන්න මත්ස්‍ය නිෂ්පාදන මෙරටට ගෙන ඒමේ එක් ප‍්‍රධාන අංශයක් වී ඇත්තේ ටූනා මසුන් ගෙන ඒමයි. මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඒ සඳහා මැදිහත් වී සිටියහ.

මෙවැනි ස්වාධීන ව්‍යාපාරයක් කරගෙන යාමට මෙරට දේශපාලන කෙරුමන් බොහෝ විට ඉඩක් දෙන්නේ නැත. ඒවා තම තමන්ගේ ගොඩට දමා ගැනීමට ඕනෑ ම තක්කඩිකමක් කිරීමට පසුබට නොවන බව පසුගිය මෑත ඉතිහාසයේ ඕනෑ තරම් ඔප්පු කර තිබේ. 2010 අප්‍රේල් මාසයේ බලයට පත් වූ ආණ්ඩුවේ ධීවර ඇමති රාජිත සේනාරත්න අලුත් ව්‍යාපාරයකට අත ගසමින් ධීවර සංස්ථාවට මාළු ගැනීමේ මුවාවෙන් තම බලය යොදවා මාළු කොල්ලකන ලද බවට චෝදනා නැඟී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ පිළිබඳව වින්දිත ව්‍යාපාරිකයා ලිඛිතව පැමිණිලි කර ඇත.

එම සිදුවීම මෙසේයි. වේයන්ගොඩ තිබෙන ‘වාසනා එන්ටර්ප‍්‍රයිසස්’ නම් ආයතනය ජපානයේ ‘ටයියෝ ෆිෂිං’ කම්පැනි ලිමිටඩ් ආයතනයෙන් මිල දී ගන්නා ලද ශීත කළ මාළු තොගයක් ගෙන්වා 2010 ඔක්තෝබර් මස 17 වැනි දින වරායෙන් ගොඩබාගෙන ඇත. එම අවස්ථාවේ දී ධීවර සංස්ථාවෙන් බව ප‍්‍රකාශ කළ පිරිසක් කඩා පැන ඇමති රාජිත සේනාරත්නගේ නියෝගය පරිදි එම තොගය ධීවර සංස්ථාවට රැගෙන යන බව පවසා කොල්ලකාගෙන ගොස් තිබේ. එම මාළු තොගය ජපානයේ ‘ටයියො ෆිෂිං’ කම්පැනි ලිමිටඩ් (TAIYO AND F.CO.LTD.) සමාගමෙන් ණයවර ලිපි ඇතුළු නීත්‍යනුකූල ලිපි ලේඛන මත මුදල් ගෙවීමේ ක‍්‍රම භාවිතා කරමින් ලබාගෙන ඇත. වරායෙන් පැහැර ගන්නා විට එම මාළු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තිහක් පමණ වී තිබේ. එම ව්‍යාපාරිකයාට සිදුව තිබෙන පාඩුව රුපියල් ලක්ෂ පනහක් පමණ බව කියවේ.

ඇමතිකම් දරන අතර ඒ බලයෙන් ජාවාරම්වලට පණ පොවන්නේ මෙසේ ය. පසුව අවස්ථාවක රාජිත සේනාරත්න ඇමතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එම මාළු තොගයේ වටිනාකම අදාළ පුද්ගලයන්ට ගෙවා ඇති බවයි. නමුත් වාසනා  එන්ටර්ප‍්‍රයිසස් වෙත අදාළ මුදල් මේ දක්වා ලැබී නැත. රාජිත සේනාරත්න ඇමතිවරයාට එල්ල වී තිබෙන මෙම චෝදනාව මූල්‍යමය වශයෙන් ගත් කල මේ රටේ සිදු වන වංචා සහ මංකොල්ල සමඟ සසඳන විට රෝම කූපයක් තරම්වත් එකක් නොවේ. නමුත්, මෙය පදනම් කරගෙන ප‍්‍රශ්න ගණනාවක් පැන නැඟී තිබේ. වත්මන් ආණ්ඩුව පිහිටුවීමේ කසකාරයන් කිහිප දෙනා අතුරින් ප‍්‍රමුඛයෙකු ලෙස 2014 නොවැම්බර් මස එළියට පැමිණි පුද්ගලයෙකි මොහු. ඉන් පසු ජනාධිපතිවරණය දක්වා සක‍්‍රීය දේශපාලනයේ යෙදුණු අතර, 2015 අගෝස්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූයේ ය. හවුල් ආණ්ඩුවේ කටකාරයන්ගේ පෙරමුණ තුළ ප‍්‍රමුඛස්ථානයක් හිමි කරගෙන සිටින මෙම ඇමතිවරයා වගකීම් විරහිත ප‍්‍රකාශ කරමින්, වගකීම් විරහිතව ක‍්‍රියා කරන බව මේ වන විට තහවුරු වී ඇත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ධීවර ඇමති ලෙස කටයුතු කරමින් ගාල්ලේ ඉදි කළ මහා පරිමාණ ටින් මාළු කම්හලක් ගැන කියැවිණ. දැන් එයට කුමක් සිදු වී තිබෙන්නේ දැයි හවුල් ආණ්ඩුවෙන් සොයා බැලීම අවශ්‍ය වී තිබේ. එය ඉදි කිරීමට ගිය වියදම සහ වාර්ෂික නිෂ්පාදන ප‍්‍රතිලාභ ගැන සොයා බැලීම වැදගත් ය.

මෙය රාජිත සේනාරත්න ඇමතිවරයා වගකීම් දැරූ සමයේ සහ ඉන් පසුව සිදු වෙමින් තිබෙන තත්ත්වය විමසා බැලීමට ද යොදා ගත යුතුව තිබේ. මන්ද රට වටේ ම මහ මුහුද තිබුණ ද, එමෙන් ම මෙරටට අයත් ජාත්‍යන්තර මුහුදේ සැතපුම් දහස් ගණනක් තිබුණ ද කර්මාන්තයක් වශයෙන් ධීවර අංශය බිඳ වැටෙමින් තිබීම නිසායි. 2014දී ජාතික නිෂ්පාදිතයට ධීවර කර්මාන්තයෙන් රුපියල් මිලියන 120,658ක් ලබා දී තිබූ අතර හවුල් ආණ්ඩුව යටතේ එය රුපියල් මිලියන 117,453.ක් දක්වා සියයට 2.7කින් කඩා වැටී තිබේ. මෙය මෙසේ වී ඇත්තේ කෘෂිකර්මාන්තයට මෙන් කාලගුණ බලපෑම් සිදුවීම් නිසා හෝ වගා පාළු වීම නිසා වැනි හේතු නිසා ද නොවේ. පසුගිය වසරේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය උපයෝගී කරගෙන මත්ස්‍ය අස්වැන්න වැඩියෙන් නෙළා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තිබිණි. එහෙත්, සිදු වී ඇත්තේ එහි අනික් පැත්ත ය. ධීවර ඇමතිලා වශයෙන් සිටි උදවිය පෙර සඳහන් කළ වැනි දේවලින් පාතාල ජාවාරම් කරන විට කවර හෝ කර්මාන්තයක් පරිහානියට වැටීම අරුමයක් නොවේ.

අනික් පැත්තෙන් රාජිත ඇමතිවරයා දැන් හවුල් පාලනයක් ආරම්භ කර තිබෙන බවට බරපතල  චෝදනාවක් එල්ල වී තිබේ. රුපියල් ලක්ෂ 50ක් වැනි සොච්චම් ගේමක් ගැන සඳහන් කළේ මේ හේතුව පදනම් කරගෙන ය. ඡුන්ද අපේක්ෂකයන්ගේ මනාප මරා ගැනිල්ල ඉදිරියට දමා ඉන් පසු සිදු කරනු ලබන මරා ගැනීම් යටපතේ කර තිබේ. අනිත් පැත්තෙන් පසුගිය රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂ පවුල ගොඩනැඟුණේ ද පුංචි පුංචි ගේම් හරහා බව අමතක කළ යුතු නොවේ. රාජිත සේනාරත්න ඇමතිවරයාත් පරදවා ගොස් චතුර සේනාරත්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මුවන්පැලැස්සේ පිනා මෙන් තග දමන ආකාරය රූපවාහිණී මාධ්‍යයෙන් පසුගිය සමයේ දැක බලා ගත හැකි විය.

රාජපක්ෂ පවුල ද පොඩි පොඩි පිංහාමිලා ගෙන් පටන් ගෙන රජ ගේම් දුන්නේ රාජ්‍ය බලයේ පරාක‍්‍රමය කොතෙක් දැයි ඉතා මැනැවින් ඔප්පු කරමින් ය. යහපාලනය පරසක්වල ගසා රාජ්‍ය බලය යොදා ගැනීමට චතුර සේනාරත්න වැනි වුන් වෙර දරන්නේ නිකම් ම නොවේ. තාත්තලාගේ හයිය ද අරගෙන ය. ඒ හයිය කොතෙක් දුරකට, කොතරම් විනාශකාරීව යොදාගත හැකිදැයි රාජිත සේනාරත්න ඇමතිවරයා ඉතා හොඳින් දන්නා කරුණකි. රුපියල් ලක්ෂ පනහක් වැනි මයිලක් තරම්වත් නොවටිනා මුදලකින් රාජ්‍ය බලය යොදවා ආරම්භ කරන පාතාල ගේම් එමෙන් ම සිය ගුණයක බලයකින් පුතාලා යොදා ගන්නා බව රාජපක්ෂ පාලනයේ සාක්ෂිවලින් ඔප්පු වේ. රාජපක්ෂ පවුල් පාලනය වෙනුවට සේනාරත්න පවුල් පාලනයක් හෝ වෙනත් කිසිම පවුල් පාලනයක් මේ රටේ ජනතාවගේ අපේක්ෂාව නොවේ.


-ලංකා ඉරිදා සංග්‍රහය

Share on Google Plus