මාලඹේ හොර උපාධි කඩයක්ද?


ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය මේ දිනවල පවතින්නේ දැඩි අර්බුදකාරී තත්වයක් හමුවේය. ඒ මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මඟින් වෛද්‍ය උපාධිය ලබා ගන්නා සිසුන්ට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා නොදීම සහ එම ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් ඇතුළු විවිධ පාර්ශව වෙතින් එල්ලවන ප‍්‍රබල විරෝධය හමුවේ පැනනැඟී ඇති තත්වය හේතුවෙනි. කෙසේ වුවත් තවමත් නිශ්චිත විසඳුමක් නොමැති මෙම අර්බුදය මෙරට නිදහස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරනු ලබන අවස්ථාවක් ලෙස ද පෙන්වා දිය හැකිය. මන්ද යත් මෙරටට වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සතුවන ඒකාධිකාරිය මෙහි දී අභියෝගයට ලක්වන බැවිනි. එහෙත් එමඟින් ඇතිවන අහිතකර තත්වයන් ගණනාවක් ද ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු බොහෝ පාර්ශව විසින් පෙන්වා දෙනු ලබයි. ඒ අනුව වර්තමානයේ වඩාත් ආන්දෝලනාත්මක ස්වරූපයට පත්ව ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය පිළිබඳව විශ්ලේෂණාත්මක සටහනක් තැබීම වැදගත්ය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තුළආරම්භ කිරීම පිළිබඳ විමසා බැලීමේදී ඒ සඳහා උත්සාහ දැරූ අවස්ථාවන් ගණනාවක් පිළිබඳව පෙන්වා දිය හැකිය. ඒ අනුව එහි පළමු උත්සාහය ලෙස පෙන්වා දිය හැකි වන්නේ 1981 වර්ෂයේ දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමය. එය 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 25 වන වගන්තියේ අන්තර්ගත වන නීතිමය ප‍්‍රතිපාදන භාවිත කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින් පිහිටුවා තිබේ. මෙම වෛද්‍ය විද්‍යාලය මෙරට නිදහස් අධ්‍යාපන අයිතියට එල්ල වූ ප‍්‍රබලතම පහරක් බවට ප‍්‍රබල විරෝධයක් ඉස්මතු වූ අතර මෙම ආයතනයට ඇතුළත් වන ශිෂ්‍යයින්ට සහ කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයින්ට මුහුණ පෙනී සිටීමට සිදුවීමත් එම විරෝධය තීව‍්‍ර වීමට හේතුවක් විය. එසේම මුදල් බලය පදනම් කර ගනිමින් ඉතා අඩු සුදුසුකම් සහිත සහ උසස් පෙළ සමත් නොවූ සිසුන් පවා මෙම ආයතනයට ඇතුළත් කර ගත් බවට ද චෝදනා එල්ල විය. එහෙත් 1987 වර්ෂය වන විට සිසුන් 700 ක් මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගෙන තිබේ. කෙසේ වුව ද ප‍්‍රථම කණ්ඩායමට සිසුන් 120 ක් ඇතුළත් වුවත් මූලික විභාගවලින් අසමත්ව අවසාන වසර වන විට සිසුන් 60 ක් පමණක් ඉතිරි වූ බව සඳහන්ය. ඔවුන් 1987 ජූනි 30 වන දා කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් සමඟ අවසාන විභාගයට පෙනී සිටීමට නියමිත වුවත් මාර්තු 18 වන දින කොළඹ වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලය ඒ සඳහා විරෝධය දක්වා තිබේ. එසේම 1987 ජූනි 27 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැුස්වී ඉල්ලීම් හතරක් සම්මත කර ගත් අතර ජූලි 31 ට පෙර ඒවාට විසඳුම් ලබා නොදුනහොත් වර්ජනයක් කැඳවීමට ද තීරණය කරන ලදි. කොළඹ සරසවියේ විභාගවලට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුන් පෙනී සිටීම වැළක්වීම, ඔවුන්ට කොළඹ සරසවියේ වෛද්‍ය උපාධිය ලබා නොදීම, එම පුද්ගලික ආයතනය හා කොළඹ සරසවිය අතර පවත්නා සම්බන්ධය ඉවත් කිරීම හා සීමාවාසික පත්වීම් ලබා දීමේ දී රජයේ වෛද්‍ය සිසුන්ට ප‍්‍රමුඛත්වය ලබාදීම එම ඉල්ලීම් වූ බව සඳහන්ය.

රජය සමඟ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ නිසා ජූලි 15 දින රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට එළඹීමට තීරණය කළ අතර එයට වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ඇතුළු වෙනත් වෘත්තීය සංගම්වල ද සහයෝගය හිමිවිය. කෙසේ වුවත් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගැනීමට සහ ඒ සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අගෝස්තු 11 වන දින සියලූ වෛද්‍යවරුන් සේවයට වාර්තා කළ ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සමඟ කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් අවසන් විභාගයට පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කළ නිසා නැවතත් අර්බුදය උග‍්‍ර වූ අතර සරසවි ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් සහ ශිෂ්‍ය සංවිධානවලින් එල්ල වූ ප‍්‍රබල විරෝධය හමුවේ අවසානයේ එය ජනසතු කර රාගම වෛද්‍ය පීඨය ලෙස කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරන ලදි. ඒ අනුව මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ ආරම්භක උත්සාහය ලෙස උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම ඉතිහාස ගත වූ අතර එයට විරෝධය පා තම ජීවිතවලින් වන්දි ගෙවූ වෛද්‍ය ශිෂ්‍ය වෙනුර එදිරිසිංහ ඇතුළු ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් රැසකගේ නම් අදටත් සරසවි සිසු අරගල ඉතිහාසය තුළ සදානුස්මරණීයව සටහන් වී තිබේ.

කෙසේ වුවත් ඉන් අනතුරුව ද වෙනත් රටවල විශ්වවිද්‍යාල හා අනුබද්ධව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තුළ පිහිටුවීමේ උත්සාහයන් ගණනාවක් ක‍්‍රියාත්මක විය. ඒ අනුව 1997 වසරේ දී එංගලන්තයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් මෙරට ඇරඹීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක වූ අතර ඊට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය ද ක‍්‍රියාත්මක නොවුණි. එයට පසුව 1999 සහ 2003 වසරවල දී ඉන්දියානු විශ්වවිද්‍යාල දෙකකට අනුබද්ධව ද 2002 සහ 2006 වසරවල දී ටැන්සානියාවේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තුළ ඇති කිරීම සඳහා උත්සාහ දැරූ අතර එම උත්සාහයන්වල උත්කර්ෂය සනිටුහන් වනුයේ වර්තමානයේ දී ප‍්‍රබල ආන්දෝලනයකට ලක්ව ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් SAITM ආයතනයේ ආරම්භය 2009 දී සිදුවීමත් සමඟය. මෙම ආයතනයේ නාමය ආරම්භයේ දී South Asian Institute of Technology and Management  ලෙස භාවිත වී පසුව එය South Asian Institute of Technology and Medicine ලෙස භාවිත කර තිබේ.

මෙම ආන්දෝලනාත්මකSAITM ආයතනය පිහිටවනු ලබන්නේ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා විසිනි. ඒ ආරම්භක ප‍්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 800 ක් ආයෝජනය කරමිනි. ආරම්භයේ දී තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව උපාධි පිරිනමන ආයතනයක් ලෙස ආරම්භ වුව ද 2011 වර්ෂයේ දී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයක් මඟින් මෙම ආයතනයට වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි (MBBS) ලබා දීම සඳහා අවසර ලබා දෙන ලදි. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක මහතා කටයුතු කළ අතර මෙම අවසර දීම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සංගම් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සරසවි ශිෂ්‍ය සංගම් වෙතින් දැඩි විරෝධයක් එල්ලවිය.  

කෙසේ වෙතත් මෙම ආයතනයට මුල්ම ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගනු ලබන්නේ රුසියාවේ නිස්නි නොව්ගොරොද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ වෛද්‍ය උපාධිය පිරිනැමීමේ පදනම මතය. එසේම මේ දිනවල දැඩි අර්බුදයකට තුඩු දී ඇති මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධි පිරිනැමීමට අදාළ අනිවාර්ය සායනික පුහුණුව රුසියාවේදී ලබා දෙන බවද මුලින් ප‍්‍රකාශ විය. එහෙත් පසුව රුසියාවේ එම ආයතනය මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සමඟ සම්බන්ධයක් නොමැති බවට කරුණු ඉදිරිපත් විය. එසේම පළමු වසර දෙකක කාලය මෙරට තුළ අධ්‍යාපනය ලබා දෙන බව සහ ඉතුරු දෙවසර රුසියාවේ අධ්‍යාපනය සඳහා යොමු කරන බවට සිදු කළ ප‍්‍රකාශය ද දැන් මුසාවක් බවට පත්ව ඇත්තේ සම්පූර්ණ වෛද්‍ය උපාධියම මෙරට තුළ දී සම්පූර්ණ කිරීමට සිදුවී ඇති බැවිනි. එහෙත් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව එල්ල වන බරපතලම චෝදනාව වන්නේ මේ සඳහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා දී නොතිබීමය. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ගැසට් පත‍්‍රයකින් උපාධි ලබා දීමට අවශ්‍ය නිත්‍යානුකූල වලංගුභාවය ලබා දුන්න ද එම ආයතනයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී නැත්නම් එයින් පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට මෙරට තුළ වෛද්‍ය වෘත්තියේ නියැලීම සඳහා අවශ්‍ය නීතිමය පිළිගැනීම නොලැබේ. එනිසා දේශපාලන තීරණ මත පෞද්ගලික උපාධි ආයතන වලංගුභාවයට පත්කරනු ලැබුවද වෘත්තිකයන්ගේ පිළිගැනීම ඒවාට නොලැබීම තුළ වර්තමානයේ උද්ගතව පවත්නා අර්බුදය නිර්මාණය වී ඇති බව පැවසිය හැකිය.

මෙරට වෛද්‍ය වෘත්තිකයන් පිළිගැනීමේ බලය හිමිවී ඇති ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත කරන ලද ආයතනයකි. මෙම ආයතනය මුල් කාලයේ දී සිලෝන් මෙඩිකල් කවුන්සිල් (CMC) යන නමින් ක‍්‍රියාත්මක වූ අතර 1998 අංක 40 දරණ සංශෝධිත පනත මඟින් එය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) බවට පත්විය. එහි ප‍්‍රධාන කාර්යයක් ලෙස පෙන්වා දිය හැකි වන්නේ පොදුජන සෞඛ්‍යය ප‍්‍රමුඛ කර ගනිමින් ජන ජිවිතයේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීමය. ඒ අනුව වෛද්‍ය වෘත්තියේ යෙදෙන්නන්ගේ ගුණාත්මකභාවය සහතික කිරීම, වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීම මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ ගුණාත්මකභාවය තහවුරු කිරීමට කටයුතු කිරීම හා සෞඛ්‍ය වෘත්තිකයන් සම්බන්ධ විනය කටයුතුවල දී සාධාරණව මැදිහත් වීම ආදී කටයුතු සඳහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට බලය පැවරී තිබේ. එබැවින් මෙරට තුළ බටහිර වෛද්‍ය ක‍්‍රම අනුගමනය කරනු ලබන වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කිරීම සඳහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය අත්‍යවශ්‍ය වන අතර අදාළ වෛද්‍යවරයා තම වෛද්‍ය උපාධිය ලබා ගත් උසස් අධ්‍යාපන ආයතනය ද ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා තිබිය යුතු වේ. විශේෂයෙන්ම මෙසේ පිළිගැනීමට ලක්වීම මඟින් සැලසෙන සුවිශේෂී වරප‍්‍රසාදයක් වන්නේ එක් රටක වෛද්‍ය සභාවක් විසින් පිළිගනු ලැබූ වෛද්‍යවරයෙකු වෙනත් රටක වෛද්‍ය සභාවක ලියාපදිංචි කර ගැනීම සඳහා සලකා බැලීමයි. එනම් වෙනත් ආකාරයකින් කිවහොත් එක් රටක වෛද්‍ය සභාවක ලියාපදිංචිය ලැබීම යනු ලෝකයේ කවර හෝ රටක රෝගියෙකුට ප‍්‍රතිකාර ලබා දීම සඳහා සුදුසු බවට බලපත‍්‍රයක් ලබා දීම හා සමාන වන ක‍්‍රියාවක් වේ. එනිසා කවර හෝ තැනැත්තෙකුට හෝ ආයතනයකට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා දීම අතිශය වගකිම්සහගත කර්තව්‍යයක් වන අතරම එය දේශපාලන හෝ වෙනත් කිසිදු බලයකට හිස නවමින් සිදු නොකළ යුතු කාර්යයක් ද වේ. ඒ අනුව මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අනුමැතිය ලබාදීම පිළිබඳව තීරණය කිරීම සඳහා එම සංගමයේ මැදිහත්වීමෙන් අදාළ වෛද්‍ය විද්‍යාලය නිරීක්ෂණයට ලක් වුවද ඒ සෑම අවස්ථාවකදීම අවසාන නිගමනය බවට පත්වූයේ තම සංගමයේ අනුමැතිය ලබාදීම සඳහා සැපිරිය යුතු අවශ්‍යතා අදාළ පෞද්ගලික විද්‍යාලය සපුරා නොමැති බවයි. කෙසේ වෙතත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භයේ දී පළ කළ පුවත්පත් දැන්වීම් තුළ එයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී ඇති බව සඳහන් වුවත් එය ප‍්‍රතික්ෂේප කරමින් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව එසේ නොවන බව ප‍්‍රකාශ කරමින් පුවත්පත් දැන්වීම් පළ කිරීමට කටයුතු කරන ලදි.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම පෞද්ගලික විද්‍යාලයට සිය අනුමැතිය ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස දක්වනු ලබන්නේ එය නිසි ප‍්‍රමිතියෙන් තොර වන බවට ඔවුන් විසින් නඟන චෝදනාවයි. එනම් විශේෂයෙන්ම ඔවුන් විසින් ගෙනහැර දක්වනු ලබන කරුණක් වන්නේ වෛද්‍ය සිසුන් ලබා ගත යුතු අනිවාර්ය සායනික පුහුණුව ලබා දීම සඳහා එම ආයතනය සතුව විධිමත් ක‍්‍රමවේදයක් නොමැති බවයි. එහිදී වෛද්‍ය විද්‍යාලයකට අනුබද්ධව ශික්ෂණ රෝහලක් ද පවත්වාගෙන යා යුතු වුවත් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමේදී කිසිදු ශික්ෂණ රෝහලක් එයට අනුබද්ධව ක‍්‍රියාත්මක නොවූ අතර බොහෝ පාර්ශව වෙතින් එල්ල වූ ප‍්‍රබල විරෝධය හමුවේ වර්තමානයේ දී එයට අනුබද්ධව ඉදිකළ පෞද්ගලික රෝහලක් ශික්ෂණ රෝහලක් ලෙස ක‍්‍රියාත්මක වන බව පැවසුව ද එම රෝහල තුළ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීම සඳහා අවශ්‍ය වන පහසුකම් නොමැති බවට චෝදනා නැෙඟ්. මෙම සායනික පුහුණුව ලබා දීම පිළිබඳව එම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයා ප‍්‍රකාශ කර තිබුණේ එහි සිසුන්ට ශික්ෂණ රෝහල විවෘත කරන තෙක් මෙරට ප‍්‍රකට පෞද්ගලික රෝහල් දෙකක් මඟින් සායනික පුහුණුව ලබා දීමට කටයුතු කරන ඔවුන් කටයුතු කරන බවයි. කෙසේ වෙතත් සායනික පුහුණුව ලබාදීම  පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩුවකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පෞද්ගලික විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල් තුළ සායනික පුහුණුව ලබා දීම සඳහා එකඟතාව පළකර තිබුණි. ඒ එක් සිසුවෙකුගෙන් රුපියල් 50,000 ක මුදලක් අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් ගෙවීමේ පොරොන්දුව මතය. එහෙත් එසේ පුහුණුව ලබා දීමට ද එරෙහිව ඇතිවූ විරෝධතා හේතුවෙන් එමප‍්‍රයත්නය ද සාර්ථක නොවුණි.

විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට අදාළ ලියාපදිංචිය සිදු කිරීමේ දී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අපේක්ෂා කරනු ලබන ප‍්‍රමිතිගත අධ්‍යාපනය එම විදේශ රටවල වෛද්‍ය විද්‍යාල සතු වනවාද යන්න පිළිබඳ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සැලකිලිමත් වන්නේද නැතහොත් එහි දී මතු විය හැකි ප‍්‍රායෝගික තත්වය පිළිබඳව ඇතැමුන් මෙහි දී ප‍්‍රශ්න නඟනු ලැබේ. එහෙත් වෛද්‍ය සභාව පවසන්නේ එම විදේශීය වෛද්‍ය විද්‍යාල ඔවුන්ගේ නිරීක්ෂණයන්ට ලක්ව අනුමැතිය ලබා ඇති බවයි. ඒ අනුව විදේශීය වෛද්‍ය විද්‍යාල 200 කට අධික ප‍්‍රමාණයක් ඔවුන්ගේ අනුමැතියට ලක්ව ඇති බවත් එසේ අනුමත විදේශීය වෛද්‍ය විද්‍යාලයකින් උපාධිය ලබාගෙන පැමිණිය ද මෙරට තුළ ඔවුන්ට ලියාපදිංචිය ලබා දෙනු ලබන්නේ මෙරටේ දී ඔවුන්ට පවත්වනු ලබන පරීක්ෂණයකින් පසුව බවත් ඔවුන් විසින්පෙන්වා දෙනු ලබයි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව නඟෙන ප‍්‍රබල ගැටලූව වන මෙම සායනික පුහුණුව පිළිබඳ ගැටලූවට අමතරව මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කෙරෙහි එල්ල වන්නා වූ තවත් චෝදනාවක් වන්නේ එහි සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා යොදා ගනු ලබන මෘත ශරීර ලබා ගන්නේ කෙසේද යන්නයි. එනම් 1987 අංක 48 දරණ Transplantation of Human Act නම් පනත මඟින් නීතිගත කර ඇති කරණු අනුව මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තුළ මෘත ශරීර පරිහරණය වන්නේ ද නැමැති ප‍්‍රශ්නය මෙහි දී ඉදිරිපත් වේ. ඒ අනුව රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල ක‍්‍රියාත්මක වන ක‍්‍රමවේදය වන තම සිරුර දන්දීමට කැමති පුද්ගලයෙකුගෙන් ඉහත නීතිමය ප‍්‍රතිපාදන අනුව සිරුර ගෞරවාන්විතව ලබා ගෙන කල්තබා ගැනීමේ ක‍්‍රමවේද අනුව එය සංරක්ෂණය කොට අධ්‍යයන කටයුතු සඳහා භාවිත කිරීමේ ක‍්‍රියා පටිපාටිය මෙම වෛද්‍ය විද්‍යාලය තුළ සිදුවනවාද යන්න මෙහිදී විවාදයට බඳුන් වී තිබේ.

මාලඹේ මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ද ඇතුළුව පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට සාධාරණ හේතු ලෙස බොහෝ පාර්ශව විසින් ගෙනහැර දක්වනු ලබන කරුණු පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කිරීම වැදගත්ය. එනම් උසස්පෙළ විභාගය සමත් වී සරසවි වරම් ලැබීමට සුදුසුකම් සපුරන පිරිස අතරින් සීමිත පිරිසකට පමණක් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබීම ඔස්සේ බහුතරයකට නිදහස් අධ්‍යාපනය තුළින් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව වළක්වනු ලබයි. එනිසා ඔවුන් අතරින් පිරිසක් විදේශගත වී උසස් අධ්‍යාපනයට යොමුවන අතර එසේ විදේශගතව උසස් අධ්‍යාපනයේ නියැලීමට වත්කමක් නොමැති පිරිස තම අධ්‍යාපනය උසස් පෙළින් පසු අවසන් කරයි. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව වෛද්‍යවරුන් වීමට සිහින දකින බහුතරයකට මෙරට නිදහස් අධ්‍යාපනය තුළ හිමිවී ඇති සීමිත අවස්ථාව හේතුවෙන් ඔවුන් අපේක්ෂා කරනු ලබන වෘත්තියට පිවිසීමට නොහැකිව අපේක්ෂා භංගත්වයට පත්වන්නට සිදු වී තිබීම අතිශයින්ම කණගාටුදායකය. මන්ද යත් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කර ගන්නා Z-Score  නිර්ණායකය මත පදනම්ව ඉතා සුළු ලකුණු ප‍්‍රමාණයක් අඩුවීමකින් වුව ද වෛද්‍ය විද්‍යාලය පෙනි පෙනී ඔවුන්ට තම වෛද්‍ය සිහිනය අත්හැරීමට සිදුවන්නේ නම් එය ජාතියක් වශයෙන් ද අප රට මුහුණ දෙන්නා වූ අභාග්‍ය සම්පන්න තත්වයකි.

ඒ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රට තුළ ඇති කිරීම විදේශගතව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අපහසුතා ඇති පිරිසට මෙරට තුළ දී ඒ සඳහා අවස්ථාව ලබා දීමක් වන බවට තර්ක කළ හැකිය. විශේෂයෙන්ම විදේශගතව අධ්‍යාපනය ලැබීමේදී දැරිය යුතු අධ්‍යාපන වියදම්වලට අමතරව එම රටවල නේවාසිකව වාසය කිරීම සඳහා දැරිය යුතු වන වියදම් මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමේ දී අවශ්‍ය නොවීම ද මෙහි ඇති තවත් වාසිදායක තත්වයක් ලෙස පෙන්වා දේ. එසේම මිලියන ගණනනින් විදේශ රටවලට ඇදී යන මුදල් රට තුළ ඉතුරු කර ගැනීමට හැකිවීම දේශීය ආර්ථිකය ශක්තිමත් වීම සඳහා ඉවහල් වන බවට ද මෙහි දී අදහස් ඉදිරිපත් වේ.

මෙම සියලූ තර්ක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තුළ ආරම්භ කිරීමට පක්ෂව ඉදිරිපත් වුව ද සරසවි සිසුන් ඇතුළු වෙනත් පාර්ශව මෙම ක‍්‍රමවේදය නිදහස් අධ්‍යාපනයට එරෙහිව ක‍්‍රියාත්මක වන තත්වයක් ලෙස පෙන්වා දෙනු ලබයි. විශේෂයෙන්ම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිදු කළ දැවැන්ත සිසු අරගල සහ ඒ වෙනුවෙන් ජීවිත පවා අහිමි කරගත් වාතාවරණය තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම මඟින් නිදහස් අධ්‍යාපනය අහෝසි වී මෙරට තුළ මුදල් මූලික කර ගනිමින් ධනවත් පිරිසට පමණක් ලබාගත හැකි අධ්‍යාපන ක‍්‍රමයක් නිර්මාණය වන බවට ඔවුහුතර්ක කරති. ඔවුන්ගේ මෙම තර්කය තුළ රජයේ සරසවිවල අධ්‍යාපනය ලැබීමට නොහැකිව උසස් අධ්‍යාපනයෙන් ඉවත් වන අතිමහත් බහුතරයකගේ අනාගතයට අත්වන ඉරණම පිළිබඳ සාකච්ඡා නොවන අතර පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරෝධය පළ කරමින් මාස ගණනාවක් පුරා සරසවි ඉදිරිපිට සත්‍යග‍්‍රහ ව්‍යාපාර සහ උද්ඝෝෂණ පවත්වමින් සිදු කරන අරගල ඔස්සේ ඔවුන් වැනි තවත් පිරිසකගේ අධ්‍යාපනය ලැබීමේ අයිතියට බලපෑම් කිරීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද යන්න පෙරළා ප‍්‍රශ්න කළ යුතුය.

රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් ඇතුළු සරසවි සිසුන් විසින් එසේ දක්වන විරෝධතාවලට අමතරව රජයේ වෛද්‍යවරුන් ද වෘත්තීය ක‍්‍රියාමාර්ග මඟින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා විරෝධය පෑම වර්තමානයේ උද්ගතව ඇති දැවැන්ත අර්බුදයක් වේ. ඒ අනුව SAITM ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය ජූලි 04වනදින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 10 ක් ඒකාබද්ධව සංකේත වැඩ වර්ජනයක් සිදු කරන ලදි. එහි දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ද රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ නියෝජිතයින් පෙ.ව. 8  සිට පැය 4 ක කාලයක් වර්ජනයේ නිරත විය. ඔවුන් වර්ජනයේ නිරත වෙමින් පවසාසිටියේ රටේ ජනතාවගේ ජීවිත, රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය අනාරක්ෂිත තත්වයට පත් කරන SAITM ආයතනය වහා අහෝසි කළ යුතු බවයි. කෙසේ වුවත් මෙරට රජයේ වෛද්‍යවරුන් වර්ජනයේ නිරත වීම සරසවි සිසුන් උද්ඝෝෂණ සිදු කිරීම මෙන් සරල කරුණක් නොවේ. මන්ද යත් වෛද්‍යවරුන් මෙසේ උකසට තබන්නේ මෙරට දිළිඳු හා අසරණ රෝගීන්ගේ ජීවිත වීම එයට හේතුවයි. විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ සෑම වෘත්තීය ක‍්‍රියාමාර්ගයකින්ම රෝගීන් මරණ මංචකය වෙත ළඟාවන දිනය ඉක්මන කරන වෛද්‍යවරු අනාගතයේ ගුණාත්මක වෛද්‍ය සේවයක් බිහි කිරීම සඳහා ඔවුන් එසේ සිදුකරන බව පවසමින් තම වැඩ වැරුම සාධාරණීකරණය කරනු ලබයි. එහෙත් එහි ඇති සදාචාරාත්මකභාවය පිළිබඳ මානව සංවේදීව සිතා බැලිය යුතුය.

කෙසේ වුවත් ජූලි 11 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡුාවකින් අනතුරුව ප‍්‍රකාශ වූයේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමට ජනාධිපතිවරයා එකඟත්වය පළකළ බවයි. එහෙත් උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය සරසවියේ රාගම වෛද්‍ය විද්‍යාලය බවට පත්වූ ආකාරයට මාලඹේ වෛද්‍ය විද්‍යාලය ද පූර්ණ වශයෙන්ම රජයට පවරා ගතහොත් නැවතත් නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍යවරයෙකු වීමට සිහින දකින තත්වයට පත්වීමට බහුතර පිරිසකට සිදුවේ. එනිසා මෙම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඔස්සේ නිර්මාණය වූ අර්බුදය පූර්වාදර්ශයක් ලෙස සලකමින් රජයේ පූර්ණ අධීක්ෂණය සහිතව පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් මෙරට තුළ විධිමත් ක‍්‍රමවේදයකට අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු අනෙකුත් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට කටයුතු කිරීම වැදගත්ය. එසේ නොමැතිව මෙරට තුළ  වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යෑමේ ඒකාධිකාරිය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සතුව පමණක් පවත්වා ගැනීම අධ්‍යාපනය ලැබීමට ඇති සම අවස්ථා උල්ලංඝනය වන තත්වයක් ලෙස ද පෙන්වා දිය හැකිය. තව ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප‍්‍රතික්ෂේප කරමින් රාජ්‍ය සරසවිවල පහසුකම් වැඩි කළ යුතු බවට තර්ක නැඟුව ද ප‍්‍රායෝගික තත්වය තුළ ඒවා තර්ක බවට පමණක්ම පත්වන හෙයින් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල තුළින් ගිලිහෙන වෛද්‍යවරුන් බවට පත්වීමේ බලාපොරොත්තු නිසි ප‍්‍රමිතියක් යටතේ ක‍්‍රියාත්මක වන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුළින් හෝ මෙරට දී සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලබාදීම මෙරට මතු පරපුර වෙනුවෙන් ඉටුකරන වගකීමක් වන බව ද ප‍්‍රකාශ කළ යුතුය.

සටහන-සුරෝෂන ඉරංග
Ada Derana.lk

Share on Google Plus