මෛත්‍රිගෙ-රනිල්ගෙ හිත් හදන්න කපුකමක්.


අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කර ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම ධුරයට පත් කිරීම සඳහා වූ ක්‍රියාවලියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසියම් සිත් බිඳීමක් සිදුවී ඇත්නම් එය සමථයකට පත් කිරීම සඳහා දේශපාලන කපුකමක් කිරීමට අමාත්‍යවරුන් කිහිපදෙනකු සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

මේ දේශපාලන කපුකම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වන අතර ඒ සඳහා තවත් අමාත්‍යවරුන් කිහිපදෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක්ද ඉදිරිපත්ව සිටින බව වාර්තා වෙයි.

එසේම තානාපති මට්ටමේ නිලධාරීන් කිහිප දෙනකුද මේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදී ඇතැයි තොරතුරු වාර්තා වෙයි.

යම් හෙයකින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර නොහොඳ නෝක්කඩුකම් පැවැතුණහොත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී තනි ආණ්ඩුවක් බිහි කිරීමට ප්‍රධාන පක්ෂ දෙක පෙලඹීමට ඉඩ ඇති බවට අමාත්‍යවරුන් මත පළ කර තිබීම මෙවන් පියවරක් ගැනීමට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

එසේම එජාප සාමාජික ප්‍රවර්ධන කටයුතු සඳහා බදුල්ලේදී පැවැත්වූ රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා දෙමළ සන්ධානය සමඟ හෝ ජනතා විමුක්ති පෙරමුණ සමඟ හෝ ආණ්ඩුවක් බිහි කිරීමට හැකියාවක් ඇතැයි ප්‍රකාශ කිරීමත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මූලික වී එජාපයේ පිරිසක් සම්බන්ධ කර ගනිමින් තනි ආණ්ඩුවක් බිහි කරනු ඇතැයි ඇතැම් අමාත්‍යවරුන් පිරිසක් උපකල්පනය කොට තිබීමත් මේ පියවර සඳහා එළැඹීමට හේතුවක් වී ඇතැයි පැවැසේ. එසේම තනි ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් ප්‍රකාශ කිරීමත් එම ප්‍රකාශවලට එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් ප්‍රතිකාර දැක්වීමත් හේතු කොටගෙන ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළියම් යෙදීමට මෙහිදී යෝජනා වී ඇති බව වාර්තා වෙයි. 

Share on Google Plus