ක්‍රිස්ගේ සමාගම ඉෂාර මිලට ගනී.


බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට වැඩි කොටස් හිමිකාරිත්වයක් සතුව තිබූ අගලවත්ත ප්ලාන්ටේෂන් ලැයිස්තුගත සමාගම (APL), කෝටිපති ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා සභාපතිත්වය හොබවන බ්‍රවුන්ස් සමාගම විසින් අද (14) දිනයේ රුපියල් මිලියන 304 කට මිලදී ගත් බව කොළඹ කොටස් වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කර සිටී.

අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමේ 60% ක කොටස් හිමිකාරිත්වය අයිතිව තිබුණේ වෛද්‍ය ක්‍රිස් නෝනිස් සභාපතිත්වය දරන 'මැක්වුඩ්ස් සෙකිරියුටීස්' සමාගමට  වන අතර එහි මිලියන 25 ක් වූ කොටස්වලින් මිලියන 15.2 ක් අද දිනයේ මෙසේ Browns PLC සමාගම විසින් ඉහත කී මුදලට මිලදී ගැනීමට සමත් වී තිබේ.

අවුරුදු 170 ක් පැරණි මැක්වුඩ්ස් සමාගමේ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් එහි සභාපති ක්‍රිස් නෝනිස් මහතා සහ ඔහුගේ සහෝදරියක් අතර ඇතිවී ඇති අර්බුදය මේ වනවිට අධිකරණය දක්වා දිග්ගැස්සී තිබේ. මැක්වුඩ්ස් සමාගම ජාත්‍යන්තර තළයට රැගෙන ඒමට සිය මුළු දිවියම කැපකළ ශ්‍රියාණි නෝනිස් (වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ මව) හා මෙම සමාගම බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් මිලදී ගත් එන්.එස්.ඕ. මෙන්ඩිස් (වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ සීයා) විසින් ව්‍යාපාරයේ උන්නතිය තකා සමාගමෙන් පළවා හරිනු ලැබූ පුද්ගලයන් කිහිපදෙනෙකු දේශපාලනඥයන්ගේද අනුග්‍රහය ඇතිව නෝනිස් පවුල තුළ මෙම අර්බුදය නිර්මාණය කර ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කර සිටී.

නෝනිස් පවුලේ දියණියක හා විවාහ වී පසුව දික්කසාද වූ කුප්‍රකට අවි ජාවාරම්කරුවෙකු ද මෙකී කුමන්ත්‍රණය පිටුපස සිටින බව පැවසේ. ඔහුගේ දියණියන් දෙදෙනා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කර ගැනීම වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම කුමන්ත්‍රණයට මූලිකව හේතු වී ඇතැයි එකී ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. 

කෙසේ වුවද අගතියට පත් පාර්ශ්ව මෙම ගනුදෙනුව අධිකරණය ලවා තහනම් කර ගැනීමට මේ වනවිට උත්සාහයක යෙදී සිටී.

මේ පිළිබඳව Browns PLC සමාගම් සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතාගෙන්කළ විමසීමකදී ඔහු ස්ථිර කර සිටියේ ඉතාම කෙටි කාලයක් තුළ සාර්ථකව තම සමාගම අගලවත්ත ප්ලාන්ටේෂන් PLC මිලදී ගත් බවයි. එය ඉතාම නීත්‍යනුකූළ ආකාරයට විනිවිදභාවයකින් යුතුව කොළඹ කොටස් වෙළඳපොල හරහා සිදුකළ බව ඉෂාර නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Share on Google Plus