පත්තිනි අම්මලාගෙත් රෙද්දෙත් තුත්තිරි




නස්‌රුදීන් දිනක්‌ උම්මන්තකාගාරයට ගියේ එහි සිටින හිතවතකුගේ සුව දුක් බලන්නටය. එහි සේවය කරන අයගේ සහයක් නොලැබුණෙන් නස්රුදීන්ට තනිවම තම හිතවතා සොයා යාමට සිදුවිය.
ඒ වෙනුවෙන් ඇවිද යන අතරේ එහි නේවාසික රෝගීන් දුටු නස්රුදීන් ‘උම්මත්තකභාවය’ ගැන බරපතළ ලෙස සිතන්නට විය. විවිධ අදහස් ඔහු වෙත පැමිණියේය.

නස්රුදීන් මෙලෙස කල්පනාබරව ඇවිද යන අතරේ එක් වරම පිරිසක් පැමිණ නස්රුදීන්ව අල්ලා කඹයකින් ගැට ගසා වාට්ටුවට ගෙන ගියහ. එතැන් පටන් නස්රුදීන්ට උම්මන්තකාගාරයේ දී බලහත්කාරයෙන්ම ප‍්‍රතිකාර සිදුකෙරිණ.

මාස ගණනක ඇවෑමෙන් උම්මන්තකාගාරයේ ප‍්‍රධාන පාලකයා ඇතුළු පිරිස නස්රුදීන්ට සනීප බව පවසා ටිකට් කැපූහ. ඒ වන විට නස්‌රුදීන් හිටියෙ තදබල කලකිරීමෙන්ය. එනිසා ඔහු මෙලෙසින් උම්මන්තකාගාරයේ අය ඇමතීය.

”තමුසෙලට බොහොම ස්‌තුතියි මාව නිදහස් කළාට. හැබැයි මට අහන්න එකම එක ප‍්‍රශ්නයක් තියනවා. පොඞ්ඩක් කියනවා බලන්න, තමුසෙලා පිස්‌සු හැදිලා සනීප කරගන්න මේ පිස්‌සන් කොටුවට ආව අයද? එහෙම නැතිනම් පිස්‌සු හැදුණ අය සනීප කරන්න ආව අයද? කියලා”

ඊට වඩා නස්‌රුදීන්ට කතා කරන්න ලැබුණේ නැත. කතාව ඉවර කරන්නත් කලින් නස්‌රුදීන් දුටුවේ පොලූ‍, කඹ ගත් පිරිස නැවත ඔහුව ප‍්‍රතිකාර කිරීමට කුදලන් යන්න සූදානම් වන අයුරුය.

මේ වන විට මහ බැංකු අධිපති ධුරයට අදාළ සංවාදය වෙනුවෙන් අප මේ කතාව පාදක කර ගත්තේ හේතු ඇතුවය. ඒ මේ කතාව හරහා මහ බැංකු අධිපති සටනේ සිටින කාගේ කාගේත් ස්ථානය නිවැරැදිව සටහන් කර ගන්නට ඉඩ ලැබෙන නිසාය. පෙළින් පෙළට ඒ බව තේරුම් ගන්නට නම් නස්රුදීන් අසන ප‍්‍රශ්නයේ හරය අප නිවැරැදිව හඳුනාගත යුතුය.

මේ කතාවේ පිස්සන් සුව කරන්නට සිටින අයගෙන් අපේක්ෂිත රාජකාරිය ඉටුවනවාද? නැත. ඒ වෙනුවට ඔවුන් කරමින් සිටින්නේ පිස්සුව නඩත්තු කර පවත්වාගෙන යාමය. ඒ කා වෙනුවෙන්ද? පිස්සු හැදුණු අහිංසකයන්ගේ හෙට දවස වෙනුවෙන්ද? නැත. පිස්සුව සුව කරන්නට සිටින අය සිය පැවැත්ම වෙනුවෙන් පිස්සුව නඩත්තු කර පවත්වාගෙන යති. තම ප‍්‍රශ්නය හරහා නස්රුදීන් මතුකරන්නේ උම්මත්තකාගාරයේ උදවිය එසේ උමතුව නඩත්තු කිරීම ගැනය. එම පැනය දැන් අර්ජුන් මහේන්ද්‍රන් ගෙදර යවා ”දූෂණ විරෝධයට අදාළව ලිට්මස් පරීක්ෂණයෙන්” අධිසාමාර්ථ බලා පොරොත්තු වන අයගෙන් අපට මෙසේ අසන්නට පුළුවන.

”ඔයාලා හොරකමේ යන ගමන් හොරු හොයන අයද? නැත්නම් ඇත්තටම හොරු අල්ලන්න ආව අයද?”

කුමන පිළිතුරක් ඔවුන් සතු වුව ද මේ අයගේ වත්මන් භාවිතය ඔප්පු කරමින් සිටින්නේ හොරකම වට ගණනාවකින් ශක්තිමත්ව නඩත්තු කිරීමය. ඒ වෙනුවෙන් ඊනියා ”හොරු ගෙදර යවන” වත්මන් මෙහෙයුමේ යෙදී සිටින බවය. පසුගිය සති දෙකක් පුරා අප ඒ කරුණ මතුකළා ඔබට මතක ඇත. මේ සූදානමද තවත් වටයකින් ඒ මතුකිරීම් ඉදිරියට ගෙන යාමටය.

මෙතෙක් අප රටේ ඇති අත්දැකීමට අනුව නම් ආණ්ඩුව අපහසුතාවට පත්වන අයුරින් විවේචනය යොමුවන්නේ විපක්ෂයෙන්ය. නමුත් අර්ජුන් සිදුවීමට අදාළව ආණ්ඩුව තුළම කල්ලි කිහිපයක් බෙදී යාමක් නිරීක්ෂණය වෙයි. විශේෂයෙන්ම අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සිට ක‍්‍රියාත්මක වන ඊනියා දූෂණ විරෝධීන් පවා අද අර්ජුන්ට මාරාන්තිකව එරෙහි වන්නට පටන්ගෙන ඇත. ජනාධිපති කාර්යාලයේ නියුතු කොටසක් ද ඊට සහාය දක්වන ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරනු පෙනෙන්නට ඇත. ඒ සමඟම අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජනය කරන පිරිසක් අර්ජුන්ට පක්ෂය. ජනාධිපති කාර්යාලයේ පිරිසක් ද අර්ජුන්ට පක්ෂය. ඒ අනුව මේ කුඩා කුලකය සැලකුව ද එහි පාර්ශ්ව කොපමණ සිටියත් මුල තිබෙන්නේ ආණ්ඩුවේ ය.

ඒ අනුව අප හඳුනාගත යුතු පළමු කරුණ වන්නේ මෙය වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන්ගේ බල තරගයේ ප‍්‍රමාණය සහ ගුණය පිළිබඳ තරගයක් බවට පත්ව ඇති බවය. එහෙත් ආණ්ඩුව එතරම් අපරිණත දේශපාලන අවදානමකට ඇද වැටිය යුතුද? නැත. මේ මොහොතේ අප දරන ස්ථාවරය නම් ආණ්ඩුවට ඊට වඩා කරන්නට බොහෝ වැඩ ඇති බවය. ඊටත් වඩා ආණ්ඩුව ලවා කරවා ගැනීමට ජනතාවට බොහෝ වැඩ ඇත.

මන්ද අල්ලනවා කී හොරු සහ ඊට අදාළ චෝදනා ඇතිවුන් මේ වන විට සිටින්නේ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරිපිට සහ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම දොරකඩය. ඒ නිකම්ම නොව මාධ්‍ය නිවේදකයන් බවට පත්වීය. රටට කඩිනමින් ලබා දෙනවා කී දේශපාලන ප‍්‍රතිසංස්කරණ ද තවමත් ඉබි ගමනේය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන කතා බහ නැත්තටම නැතිවෙමින් පවතී. එලෙස වත්මන් ආණ්ඩුව ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු මලූ ද ඉතිහාසයේ ආණ්ඩු පෙරළිවල දුන්, නමුත් ඉටු නොකළ පොරොන්දු මල්ලට වැටීමේ අවදානමට පැමිණ ඇත. ඒ නිසා ආණ්ඩුව සුජාතභාවය ඔප්පු කළ යුත්තේ එකී සුවිශේෂී පොරොන්දු ඉටුකර දෙමින් මිස එක එක නඩ ගහන බෙරපදවල තාලයට නටමින් නොවේය.

අනෙක් අතට මේ ඊනියා දූෂණ විරෝධීන් අතර සිටින සමහරක් මෙන්ම මාධ්‍ය පවා මාරාන්තිකව ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ අගමැති රනිල් සමඟ වන ආරෝව නිසා බව ද පැහැදිලිය. ඒ තුළ සිදුවෙමින් තිබෙන්නේ අර්ජුන් විරෝධී ශ‍්‍රීලනිප පිරිස් ඉල්ලන දේ කරදෙන කොන්ත‍්‍රාත්තුව ද ඒ තුළ ඉටුකර දෙමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු එලා ගැනීමේ ලාභ උත්සාහය යි. අනෙක් අතට එකිනෙකා අතර බල තරගයක් මවා පොර පිටියට කැඳවන්නේ ජනාධිපතිවරයාව සහ අග‍්‍රාමාත්‍යවරයාවය. මෙය සුළු පිරිසකගේ ඇරියස් කවර් කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව අවදානමේ හෙළීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඉතින් මේ වැඩවලට මහින්ද රෙජීමයේ උදවියගේද නොමඳ ආශීර්වාදය හිමිය.

අනෙක් අතට අප අසන්නේ එක් පුද්ගලයකුට සීමා කර ඇති දූෂණ විරෝධී සටන පොදු අරගලයක් බවට පත්කර නොගන්නේ මන්ද කියාය. අවම වශයෙන් අප පසුගිය සතියේ පෙන්වා දුන් මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ්, අර්ජුන්ට සාපේක්ෂව කොතරම් පොඩි හොරෙක් ද කියාවත් මේ ඊනියා දූෂණ විරෝධී නඩ පැහැදිලි කළ යුතුව ඇත. එසේම රාජ්‍ය නිලධාරියෙකු සුදු කරපටි හොරකමක් සිදුකර ඇත්නම් ඔහු හෝ ඇය ගෙදර යැව් විට ඉටුවන යුක්තිය කුමක්ද යන්නද ඊනියා දූෂණ විරෝධීන්ගෙන් ඇසිය යුතුය.

මේ අය කවුද මොනවද කරන්නේ කියා නම ගම සහිතව අපට ලිවිය හැකිය. නමුත් එයින් අත්වන සෙතක් නැත. මන්ද ඒ බහුතරයක් සිය දේශපාලනය ලෙස ජම්බු උපාසිකාවගේ කාර්ය ඉටුකරන උදවිය නිසාය. කාලෙන් කාලෙට දේශපාලන ශරීරවල එල්ලී එහි ඵල රස විඳින ඒ අය ටික කාලයකින් ශරීරයට හිමිකම් කියන්න ගොස් ඒ ශරීර යට ඇති වවුල් බෙටි මතට වැටෙයි. නැවත බල ශරීරයක් හිමිවන තෙක් ඔවුන් කරන්නේ ඒ වවුල් බෙටි සමඟ සංවාද, වාද විවාද කිරීම සහ මාධ්‍ය ප‍්‍රකාශන නිකුත් කිරීමය. ඔවුන් එසේ නොවන බව ඔප්පු කරන්නට නම් අර්ජුන් සිදුවීමේ දී මාධ්‍ය හමු පවත්වා කී ලෙස ඔහුට එරෙහිව සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරිය යුතුව ඇත. ඒත් නොහැකිනම් අවම වශයෙන් මෙරට අධිකරණයක් හමුවටවත් යා යුතුය. එසේ කිරීමට නොහැකිනම් ඒ ඇයිද යන්නවත් රටට කිව යුතුය. අපට අනුව නම් මේ පිරිස් යහපාලන බල ශරීර මතට නැග තහනම් ගෙඩි කෑ බැවින් වචන කයිවාරු මිස වෙන වැඩ නැත. ඊනියා දූෂණ විරෝධය මාධ්‍ය නිවේදනවලින් එහාට නොයන්නේ ඒ නිසාය. ඒ නිසා බලය ඇති ශරීර සොයා යමින් කාලෙන් කාලෙට එක එක තාලෙට පුහුණු කළ සර්කස් ගිරවු මෙන් දොඩවන උදවියව එතරම් බැ?රුම් ලෙස සැලකිය යුතු නැති බව අපේ අදහසය.

ඒ පදනමේ සිට මෙහි දී අප අවධාරණය කරන්නේ සිල්ලර දූෂණ විරෝධී සංදර්ශනවලට වඩා අවධානය යොමුකළ යුත්තේ රට හමුවේ ඇති ආර්ථික අභියෝගය කෙරෙහි වන බවය. ආණ්ඩුව සිටින්නේ එදා වේල වත් සොයා ගැනීමට දුෂ්කර මොහොතකය.

ඒ බව පසුගිය වසරේ (2015) නොවැම්බර් 05 වන දා සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න රට හමුවේ තැබූ අවස්ථාවේ ද තහවුරු විය. ‘රජයේ මධ්‍යකාලීන සංවර්ධන ප‍්‍රතිපත්තියය’ මැයෙන් එය පාර්ලිමේන්තුවට ගෙනාවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහය. එහි දී අග‍්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ ආර්ථික දැක්ම, සැලැස්ම සහ ක‍්‍රියාන්විතය ගැන සැලකිය යුතු මට්ටමක චිත‍්‍රයක් ද අප හමුවේ තැබීය.

එසේම ඒ සඳහා යන ගමනේ දී වත්මන් ලෝක ආර්ථිකය, පහළ මධ්‍යම ආදායම් ලබන රාජ්‍යයක තත්ත්වය ලැබීමෙන් පසු සහනදායී මූල්‍ය ප‍්‍රතිපාදන හිමි නොවීම, රටේ ආදායම ඉක්මවා වැය පාර්ශ්වය ඉහළ ගොස් තිබීම, ඇමෙරිකානු මහ බැංකුවේ පොලී අනුපාත ඉහළ යෑම සහ චීනයේ ආර්ථික අස්ථාවරත්වය ආදී කාරණා රැසක් හේතුවෙන් දේශීයව මෙන්ම ගෝලීයවද අසහනකාරී මූල්‍ය පරිසරයක් හරහා ගමන් කරන්නට සිදුව ඇති බව ද ඔහු අවධාරණය කර සිටියේය.

වර්තමානයේ ඇති අනපේක්‍ෂිත අඩු වෘද්ධියේ සහ ගෙවුම් ශේෂ හිඟයේ අසාමාන්‍ය සංකලනය, මෙරට අපනයන වසරින් වසර පහත වැටෙන තත්ත්වය, අපනයන සංකීර්ණතා සහ අධි තාක්‍ෂණික අපනයනයන්ට අදාළව රට තුළ ඇති දුර්වල මට්ටම, ගැන ද සඳහන් කළ අග‍්‍රාමාත්‍යවරයා ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා මූලික වෙනස්කම් ගණනාවක් අවශ්‍ය බව ද අවධාරණය කළේය. වත්මන් ආණ්ඩුවේ ආර්ථිකයට අදාළ ගමන ඔහු සාරාංශ ගත කර සිටියේ, ”සාම්ප‍්‍රදායික චින්තනයෙන් හෝ ක‍්‍රමවේදයන්ගෙන් තවදුරටත් මේ ගමන ඉදිරියට යා නොහැකියි. එසේම පැලැස්තර විසඳුම් දමමින්, ණය බරින් රට පීඩනයට පත්කරමින් මේ ගමන යා නොහැකියි. මේ ඉදිරි ගමන සඳහා අපට ලැබෙන අන්තිම අවස්ථාවත් මෙයයි” කියමින්ය.

එතැන් පටන් රට ගොඩනගන්නට ඔහු නිදර්ශනය කොට දැක්වූයේ සිංගප්පූරුවය. ඒ බව අවධාරණය කරමින් අග‍්‍රාමාත්‍යවරයා කදිම ප‍්‍රශ්නයක් නැගීය. ඒ ”කිසිදු ස්වාභාවික සම්පතක් නොමැති, අඩු තරමින් බොන්න වතුර ටිකක්වත් නොමැති සිංගප්පූරුව එවන් ඉහළ තලයකට යන්නත්, ස්වාභාවික සම්පතින් හා මිනිස් සම්පතින් පිරුණු අප පහළට වැටෙන්නත් හේතුව කුමක්ද? අපට වැරදුණේ කොතැනද?” යනුවෙන්ය. අපි අපේ මැදිහත්වීම සිදුකරන්නේ ද මෙතනදීය.

ඕනෑම කෙනෙකු රටේ මූල්‍ය පද්ධතිය පරදුවට තබා නීතියෙන් වරදක් කර ඇත්නම් රටේ නීතියට අනුව තරාතිරම නොසලකා දඬුවම් කළ යුතුය. ඒ ගැන වාදයක් නොමැත.

ඒ අතර රටේ ආර්ථිකයේ ඉදිරි මඟ ද සුවපහසු නැත. රට කරවන්න මුදල් අවශ්‍යය. එහෙත් නූතන මුදල සැබෑ දෙයක් නොවේය. ගමන ඉදිරියට යා යුතුව තිබෙන්නේ මුදල් නිර්මාණය කිරීම තුළින්ය. එනම් මුදල් මවා හෝ ගෙන ආ හැකි මහ බැංකු අධිපතිවරයෙක් රටට අවශ්‍යව ඇත. නැතිනම් කවුරු මොනවා කීවත් පවතින ක‍්‍රමය තුළ රටේ මහ බැංකු අධිපති විය යුත්තේ මැජික්කාරයෙක්ය. ඔහු නියත ලෙසම මුදල් මවන්නෙක් විය යුතුය. ආර්ථිකය ගැන පාරම්බාන බොහෝ දෙනෙකු ඒ සත්‍ය පිළිගන්නට සූදානම් නැති වන්නට පුළුවන. මැජික් නොපෙන්වූවොත් අපිත් ග‍්‍රීසියක්ය. තිත්ත වුවත් ඇත්ත ඒකය. එනිසා කවුරු මහ බැංකුවට ආවත් මැජික් බැලීමට හිත හදා ගැනීමට සූදානම් විය යුතුව ඇත.

- සංජය ලියනගේ



Share on Google Plus