ගල් අඟුරු හොරු තවමත් ඔන් ඩියුටි.


ගල් අඟුරු ගෙන්වීමේදී සිදු වූයේ යයි කියන මහා පරිමාණ වංචාවක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ දැඩි අවධානයක් යොමු වී තිබේ. වංචා, දූෂණ පිළිබඳ කතාබහ දැන් අලුත් මාතෘකාවක් නොවූවද මේ කියන මහා පරිමාණ වංචාව සිදු වී ඇත්තේ දූෂණයට සහ පවුල් පාලනයට එරෙහිව යයි කියමින් බලයට පැමිණි අලුත් ආණ්ඩුවේ දින සියයේ මල් වෙඩි සංදර්ශනය අතරතුර වීම විශේෂත්වයකි. ඒ පාඨලී චම්පික රණවක විෂය භාර ඇමතිවරයා වශයෙන් සිටියදීය.

මෙම ගල් අඟුරු වංචාව පිළිබඳ කතාබහ කරළියට පැමිණෙන්නේ විගණකාධිපතිවරයා විසින් 2015 වසරේ සිදු කළ ගනුදෙනුවලදී රුපියල් මිලියන 1,803ක අක‍්‍රමිකතාවයක් සිදු වී ඇති බව සිය විගණන වාර්තාවෙන් ඉදිරිපත් කිරීමත් සමගය. එසේම අධිකරණය විසින්ද මෙම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

වංචාවේ වර්තමානය එසේ වුවත්, එය අද ඊයේ ආරම්භ වූවක් නොවේ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ක‍්‍රියාත්මක කිරීම ආරම්භ වූ සමයේ සිට මේ දක්වා අවස්ථා පහකදී ගල් අඟුරු මිලදීගෙන තිබේ. එය සිදු වූයේ ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණ ඇගයීම් කමිටුවක් යටතේය. විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ යන මහත්වරුන් ඇතුළු පස් දෙනෙක් වර්තමානයේ මේ ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරති. 2009 වසරේ ජනවාරි මස 08 වන දා ගල් අඟුරු මිල දී ගැනීමේ පළමු ටෙන්ඩරය කැඳවනු ලැබූ අතර, අධික මිල ගණන් ඉදිරිපත් වීමත්, එක් සැපයුම්කරුවෙකු පමණක් සිටීමත් යන පදනම මත එය අවලංගු කෙරිණි. 2009 වසරේ ජූලි මස 27 වනදා නැවත ටෙන්ඩර් කැඳවූ අතර, සමාගම් 12ක් අතුරින් දෙකක් අවසානයේ සලකා බැලීමට තීරණය විය. හේතුව කුමක් වුවත්, අවසානයේ ඉන් මිල වැඩියෙන් ඉදිරිපත් කළ නෝබල් රිසෝසස් සමාගමට කොන්ත‍්‍රාත්තුව ලබා දීමට අවසානයේ තීරණය කෙරිණි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු සපයන්නේ ලංකා කෝල් සමාගම විසිනි. ඔවුන් ගල් අඟුරු ප‍්‍රසම්පාදනය සඳහා රවි විජේරත්නට අයත් නෝබල් රිසෝසස් සමාගම සමගද, ගල් අඟුරු ප‍්‍රවාහනය සඳහා රාජ්‍ය නැව් සංස්ථාව සමගද 2010 වසරේ සිට ගිවිසුම්ගත වී සිටිති. ලංකා කෝල් සමාගමේ අයිතිය ලංකා විදුලි බල මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, නැව් සංස්ථාව හා වරාය අධිකාරිය විසින් උසුලනු ලැබේ.

මේ සුසංයෝගය සහිතව 2009 වසරේ පළමු ගල් අඟුරු ටෙන්ඩරය ‘නෝබල් රිසෝසස්’ සමාගමට ලබා දුන් ක‍්‍රියාවලිය ඉතාම ප‍්‍රශ්නකාරීය. ඉන්පසු අවස්ථා දෙකකදී එනම් 2012දී සහ 2014 වසරවලදී ගල් අඟුරු ප‍්‍රසම්පාදනය සඳහා විවෘත ටෙන්ඩර් ක‍්‍රියාවලිය සැලසුම්සහගත ලෙස කඩාකප්පල් කරන ලද අතර, 2009 දී ටොන් හයලක්ෂ පනස් දහසක් (6,50,000) වූ එම සැපයුම 2014 දී ටොන් කෝටි දෙකක් (20,000,000) දක්වා කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදු කරගෙන යනු ලැබීය.

පළමුවෙන්ම 2009 දී පළමු අදියර සඳහා මිළ ගණන් කැඳවීමේ දී පසුගිය රජයේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා හිතාමතා අවුලක් සිදු කළේය. එම අවස්ථාවේ දී ටෙන්ඩර් අගැයීම සඳහා තාක්ෂණික කමිටුව භාවිතා කළ සූත‍්‍රය අනුව එම කමිටුව දැනුම් දුන්නේ රටට වඩාත්ම වාසිදායක ලංසුව ඉදිරිපත් කළේ හොල්සිම් සමාගම බවයි. එහෙත් එම අගැයීමේ සූත‍්‍රය තමන්ට රිසි පරිදි වෙනස් කළ ටෙන්ඩර් පටිපාටි අමු අමුවේ උල්ලංඝනය කරමින් වැඩි මිල ගණනක් ඉදිරිපත් කළ රවි විජේරත්නගේ ‘නෝබල් රිසෝසස්’ සමාගම සමඟ පමණක් කේවල් කර එම සමාගමටම ටෙන්ඩරය ප‍්‍රදානය කෙරිණි.

ඉන් පසු දෙවතාවක් ගල් අඟුරු ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවූ නමුත් 2012 සහ 2014 වසරවල දී හිතාමතාම එම පටිපාටිය අවුල් කර දිගින් දිගටම නෝබල් රිසෝසස් සමාගමෙන් පළමු අදියරේ මෙගාවොට් 300ක් සඳහා පමණක් නොව මෙගාවොට් 300 බැගින් වූ අලුත් බලාගාර දෙකක් සඳහා ද ගල් අඟුරු මිල දී ගැනීමට කටයුතු කෙරිණි. දෙවන වතාවේ මිල ගණන් කැඳවූ විට දී සුදුසුකම් ලැබූ සමාගම් අතුරින් ගල් අඟුරු සැපයීම සඳහා වැඩිම මිල ගණනක් ඉල්ලා සිටියේ නෝබල් රිසෝසස් සමාගමයි. එහෙත් අවසානයේ දී නෝබල් රිසෝසස් සමාගමෙන්ම ගල් අඟුරු මිල දී ගැනීමට පියවර ගැනිණි.

තුන්වන වතාවේ ටෙන්ඩර් කැඳවූ විට ලංසු ඉදිරිපත් කළ සමාගම් හයෙන් පහක් ම මූලික සුදුසුකම් සපුරා නැති බව දක්වා ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, සිය නිර්දේශයේ සඳහන් කර තිබූයේ මෙතෙක් ගල් අඟුරු සැපයු නෝබල් රිසෝසස් සමාගම ද ටෙන්ඩරය සඳහා මූලික සුදුසුකම් සපුරා නැති බවයි.

සාමාන්‍යයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ජනන අංශය විසින් දෙනු ලබන අනුපිළිවෙළකට අනුව ගල් අඟුරු ගෙන ඒම වසරේ සැප්තැම්බර් 14 සිට අප්‍රේල් 14 දක්වා සිදුවේ. මේ කාලය තෝරාගෙන ඇත්තේ නිරිතදිග අන්තර් මෝසම් හා මෝසම් වර්ෂාව පවතින කාලයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු ගොඩබෑම කළ නොහැකි නිසාය. එයට හේතුව මුහුද රළු වීම නිසා සාගරය මැද සිට බත්තල් මගින් ගල් අඟුරු ජැටිය වෙත ගෙන ඒමට නොහැකි වීමයි. මෙය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයක් තැනීමට ගත් තීරණයේ සිට එන තාක්ෂණික ප‍්‍රශ්නයකි. මේ අනුව අනාගතයේදී මෙගා වොට් 900ක බලාගාරයක් සඳහා ගල් අඟුරු ටොන් මිලියන 2.5ක ප‍්‍රමාණයක් වාර්ෂිකව මාස 6ක් ඇතුළත සැපයීම අතිශය අභියෝගකාරී ක‍්‍රියාවක් වනු ඇත.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් අනුමත නොකරන ලද කාලයකදී නැව් ගමන් දෙකක් සිදුවිය. ඒ 2012 මැයි 01 හා මැයි 03 දා මෙරටට ගෙන ආ 16 හා 17 වන ගල් අඟුරු තොගයන් ලෙසිනි. ඉන් පළමුවන නැව තුළ ගල් අඟුරු ටොන් හැටනවදහස් තුන්සිය පනහක් (69,350) තිබූ නමුත්, මුහුද රළු වීම නිසා ගොඩ බා ගත හැකි වූයේ ටොන් හතලිස් හයදහස් හත්සිය හැත්තෑ හයක් (46,776) පමණි. ටොන් විසි දෙදහස් පන්සිය පනස් හතරක් (22,554) ගොඩ බා ගත නොහැකි විය. දෙවන නෞකාවේ ගල් අඟුරු ටොන් හැත්තෑ තුන්දහසක් (73,000) තිබූ නමුත්, මුහුද රළු වීම නිසා ගොඩ බා ගත හැකි වූයේ ටොන් නවදහස් හයසිය හැට තුනක් (9,663) පමණි. එයින්ද ටොන් හැටතුන්දහස් තුන්සිය තිස් හතක් (63,337) මේ අනුව ගොඩ බෑමට නොහැකි විය.

මේ අනුව ලංකා කෝල් සමාගම ටොන් අසූපන්දහස් අටසිය අනූ එකක් (85,891) වටිනා ගල් අඟුරු අදාළ පිරිවිතරයන්ට අනුකූලව ලංකා විදුලිබල මණ්ඩලයට සැපයීමට බැඳී සිටියේය. මන්ද ඉහත කී ගල් අඟුරු තොග දෙක සඳහාම ණයවර ලිපි හරහා ලංකා විදුලිබල මණ්ඩලයට මුදල් ගෙවා තිබූ හෙයිනි.

කෙසේ වෙතත්, 2012 ජූලි 04 දා ලංකා කෝල් සමාගමේ සභාපතිවරයා, ලංකා නැව් සංස්ථාව සමග එකඟතාවයකට පැමිණියේය. ඒ ලංකා නැව් සමාගම ඉහත කී ගොඩ නොබාන ලද ගල් අඟුරු තොග තුන්වැනි පාර්ශ්වයකට විකුණා පසුව එයට සමාන ගල් අඟුරු තොග ලං.වි.ම.ට සැපයීමටත්, තවත් අමතර ගල් අඟුරු තොග තුනක් ලබා ගැනීමටත් එකඟ වීමය. ඒ සඳහා වරාය හා නාවුක කටයුතු අමාත්‍යාංශයට අයත් රාජ්‍ය නැව් සංස්ථාව තෝරියන් නම් සමාගමක් සමග ගිවිසුමකට (Back to Back Agreement) එළැඹී තිබිණි. තෝරියන් යනු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත් රෝහිත රාජපක්ෂ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවූවා යයි කියන කටයුතු සම්බන්ධ ප‍්‍රචාරක කටයුතු සිදු කළ සමාගමයි. මේ තීන්දුවට ලං.වි.ම. නියෝජනය කළ ලංකා කෝල් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනා එකඟ වූයේ නැත. එය ලංකා කෝල් සභාපතිවරයා ඇමතිවරයාට දැනුම් නොදුන් අතර අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියට ලිපියක් යවන ලදී.

මේ අතර නව ගල් අඟුරු ප‍්‍රසම්පාදන ටෙන්ඩරය සඳහා අයදුම්පත් කැඳවා ඒවා තාක්ෂණික ඇගයීමකට ලක් කරමින් තිබිණ.

ලංකා නැව් සමාගම 2012 නොවැම්බර් 06 වැනිදා 18 වැනි ගල් අඟුරු තොගය වන ටොන් පනස් පනස්දහස් නවසිය අන පහක් (55,995) සහ නොවැම්බර් 14 දා සිය 19 වැනි ගල් අඟුරු තොගය වන ටොන් තිස් දෙදහස් අටසිය විසි හතක් (32,827) ගෙන ආවේය. ඒ තෝරියන් සමාගමෙනි. 18 වැනි ගල් අඟුරු තොගයේ ගුණාත්මක තත්ත්වයන් පරීක්ෂා කර මිල ගණන් සැකසීමෙන් පසු තවත් ගල් අඟුරු ටොන් විසිනවදහස් අටසිය අනූ හයක (29,896) අඩුවක් පැවතිණි. මේ නිසා ලං.වි.ම. ස්ථාවරය වූයේ 19 වැනි ගල් අඟුරු තොගය සඳහා ණයවර ලිපියට ගෙවිය නොහැකි බවයි. එයට හේතුව වූයේ 16 සහ 17 වන ගල් අඟුරු තොගවලදී එය කලින්ම ගෙවා තිබුණු හෙයිනි. එහි වටිනාකම රුපියල් මිලියන 460ක් විය. 2012 දෙසැම්බර් 22දා 20 වැනි ගල් අඟුරු තොගයද ගෙන ආ අතර, අවසාන වශයෙන් ගුණාත්මක තත්ත්වයන් පරීක්ෂා කර බලා වටිනාකම සකසනු ලැබීය.

ඉන් පසු 2013 වසරේ මැයි මස 21 වන දා යළිත් කැඳවූ ටෙන්ඩරයේදී  ලිබර්ටි කොමෝඩිටීස් සහ උත්තම් ගැන්වා නමැති සැපයුම්කරු සුදුසු බව ප‍්‍රසම්පාදන කමිටුව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කරනු ලැබීය. පසුව තෝරියන් නමැති සමාගමක් ඉදිරිපත් කළ අභියාචයනයද පිළිගැනුණු අතර එයද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත්, අවසානයේ යළිත් ගල් අඟුරු සැපයුම හිමි වූයේ නෝබල් රිසෝසස් සමාගමටය. එහිදී ද ඔවුන් අවම මිල ඉදිරිපත් කර නොතිබීම විශේෂත්වයකි. 2014 වසරේ ජුනි මස 18 වන දා නැවත ගල් අඟුරු ටෙන්ඩර් කැඳවීමක් සිදු වූ අතර, මෙහිදී ටෙන්ඩර් අවලංගු කර නැවත කැඳවීමට අමාත්‍ය මණ්ඩලයට නිර්දේශයක්ද ඉදිරිපත් වුණා.

මෙහිදී පස් වන ටෙන්ඩරයේදී ප‍්‍රසම්පාදන කමිටුව නෝබල් රිසෝසස් සමාගම සුදුසු යයි නිර්දේශ කර තිබියදී ස්විස් සිංගප්පූරු සමාගම ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරන්න යයි ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව කොන්දේසි වෙනස් කිරීමට ප‍්‍රසම්පාදන කමිටුව පියවර ගත් අතර, අවසානයේ සැපයුම් සඳහා සුදුසුකම් ලැබූයේ ස්විස් සිංගප්පූරු සමාගමයි.

එසේම ටෙන්ඩර් අගැයීමේ කමිටුවට නිර්දේශ කළ ඉතා වැදගත් නිර්ණායකයක් වන ගල් අගුරුවල කැටිති ප‍්‍රමාණය නොසලකා හරිමින්  නැවත ලංසු කැඳවන ලෙස ටෙන්ඩර් කමිටුව නිර්දේශ කෙරිණ. කෙසේ නමුත්, ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් නැවතත් නිර්දේශ කළේ නොබෙල් රිසෝසස් සමාගම වන අතර එය අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් 2015 සැප්තැම්බර් 22 දින ප‍්‍රතික්ෂේප කර තිබිණි.

මේ අනුව මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් මිලියන 54.40 බැගින් ස්විස් සිංගප්පූරු සමාගමෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.0647ක් මිලදී ගැනීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 57.93කි.

නෝබල් රිසෝසස් සමාගම අධිකරණයේ පිහිට පතා තිබුණේ සුදුසුකම් සපුරා තිබියදීත් 2015 වසරේ ගල් අගුරු ලබාදීමේ ටෙන්ඩරය වෙනත් සමාගමකට ලබා දීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමිනි.

මෙහිදී සමස්ත කැබිනට් මණ්ඩලය මෙන්ම එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අමාත්‍යවරයාව සිටි  පාඨලී චම්පික රණවක, ලේකම්වරයා මෙන්ම අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව ඇතුළු 75 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලබයි. අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ කොන්දේසිවලට අනුකූලව ගල් අඟුරු මෙට්‍ර්ක් ටොන් මිලියන 1.064ක් සැපයීම සඳහා නෝබල් රිසෝසස් සමාගම 2015.04.08 දින සිය ලංසුව ඉදිරිපත් කරන ලදී. ඔවුන් යෝජනා කළේ නියමිත ප‍්‍රමිතියට අනුව මෙට්‍රිරක් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් මිලියන 46.62ක මුදලකට ලබා දිය හැකි බවයි.

ටෙන්ඩරය ලබා ගත් ස්විස් සිංගප්පූරු සමාගම මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් මිලියන 54.41ක මුදලකට ලබා දීමට යෝජනා කරන ලදී. මෙම ලංසුව සලකා බලනුයේ අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණික අගැයීම් කමිටුවයි.

ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ කටයුතු කරන අතර විදුලිබල හා බලශක්ති පුනර්ජීවන අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී එන්.සී. වික‍්‍රමසේකර, අතිරේක ලේකම් එස්.ඒ.එම්. සරන්තිස්ස එහි අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබීය.

නෝබල්  රිසෝසස් සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමෙන් කියා සිටියේ සුදුසුකම් සපුරා තිබුණද, ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව ටෙන්ඩර් කොන්දේසි නැවත වෙනස් කර ඇති බවයි. එම සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමේ ස්විස් සිංගප්පූරු සමාගම ඒ සම්බන්ධව කමිටුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය කරන ලදී. මෙම නඩුවේ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය වුයේ, මෙහිදි ඉතා පැහැදිලිවම රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයන්ට, මාර්ගෝපදේශයන්ට පටහැනිව අමාත්‍ය මණ්ඩලය විසින් අන්තනෝමතික තීරණයක් ගෙන ඇති බවත්, ස්විස් සිංගප්පූරු සමාගම වෙත ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීම නීතී විරෝධී බවත්ය.

විගණකාධිපතිවරයා 2016 මාර්තු 19 වන දින විගණන විමසුමෙන් සඳහන් කරන්නේ 2015 වසරේ සිදු වූ ගනුදෙනුවලින් රුපියල් මිලියන 1,803ක පාඩුවක් සිදු වී ඇති බවයි. එහෙත්, ඒ විගණන විමසුම හෝ අධිකරණය විසින් ඉදිරිපත් කළ නිර්දේශයන් හෝ කිසිදු තැකීමක් නොකර මේ දක්වා ඉහත කී දූෂිත ටෙන්ඩර් පටිපාටිය හරහාම ගල්අඟුරු ගෙන ඒම නිසා ඉන් පසුව සිදු වූ පාඩුව රුපියල් මිලියන 727.3කි. එහෙත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් රටට ඉදිරිපත් කර ඇති වාර්තා අනුව වර්තමාන හවුල් ආණ්ඩුව යටතේ ගල් අඟුරු ගෙන්වීමේදී ඇමරිකානු ඩොලර් තිස්ලක්ෂ හතලිස් දෙදහස් අටසිය තිස්තුයි ශත හතරක ($ 3,42,833.4)ක එනම් රුපියල් මිලියන 51ක ලාභයක් සිදු වී ඇතැයි පවසයි. එහෙත් එය අමූලික බොරුවක් බව පැහැදිලිවම පෙනී යයි.

පෙළ ගැසී ඇති කරුණු අනුව එවැනි වංචාවක් සිදු වී නැතැයි කීමට නොහැකි තත්ත්වයට මේ වනවිට නිර්මාණය වී තිබේ. කරුණු එසේ වුවත් දැන් සිදු වෙමින් තිබෙන්නේ ෂේප් න්‍යාය අනුගමනය කරමින් චම්පික රණවක හිටපු විෂය භාර ඇමතිවරයා රාජපක්ෂ පාලනයට මේ සියල්ල බැර කිරීමට උත්සාහ දැරීමයි. ඒ අනුව යමින් වගකිවයුතු සියල්ලෝ ම ඔවුනොවුන්ගේ කිල්ලෝටවලට මේ වංචාවද බැර කිරීමේ තවත් වංචාවක යෙදී සිටිති. එහෙත් මෙය කිසිවෙකුටත් ඇඟ බේරා ගත හැකි සිදුවීමක් නොවේ.

මේ නිසා මේ සියලු කරුණු පිළිබඳව විධිමත් විමර්ශනයක් කර වගකිවයුතු සියලු දෙනාට නීතිය ක‍්‍රියාත්මක කිරීම වහා ම සිදු කළ යුතුය.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දූෂණ විරෝධී හඬ සංවිධානයේ සම කැඳවුම්කරු නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ වගකිවයුත්තන් අධිකරණය හමුවට පැමිණවිය යුතු බවයි.

"හවුල් ආණ්ඩුවේ දින සියය වැඩපිළිවෙළ තුළ ඇති වුණු විශාලතම වංචාව තමයි ගල්අඟුරු වංචාව. මිලියන 1,803ක වංචාවක් මේ ගල් අඟුරු ටෙන්ඩරය හරහා සිද්ධ වෙලා තියෙනවා. වත්මන් ආණ්ඩුව බිහි වුණේ දූෂණයට වංචාවට එරෙහිව. මේ ආණ්ඩුවෙ කුළුඳුල් අවස්ථාව වුණේ දින සියයේ වැඩපිළිවෙළ. ඒ වගේ වෙලාවක මේ වගේ වංචාවක් කරන්නෙ කොහොමද කියල හිතා ගන්නත් අමාරුයි. පසුගිය රාජපක්ෂ ආණ්ඩුවත් වත්මන් හවුල් ආණ්ඩුවත් දෙකම එකයි කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක. රජයේ විගණකාධිපතිවරයා මේ ගනුදෙනුව ඇතුළේ වංචාවක් වෙලා තියෙනවා කියල ඔහුගේ වාර්තාවෙන් තහවුරු කරල තියෙනවා. ඒ වගේම අගවිනිසුරුවරයා කියනවා එයාට කම්පනයක් ඇති වුණා කියලා මේ ටෙන්ඩරය දිහා බැලූවට පස්සේ. ආණ්ඩුවෙ මැති ඇමතිවරු මොන දේවල් කිව්වත් විගණකාධිපතිවරයත් අගවිනිසුරුවරයත් මෙතන වංචාවක් වෙලා තියෙනවා කියන එක බැහැර කරන්න බැහැ.

ජනතාව මේ ආණ්ඩුව පත් කර ගත්තෙ ජනතා මුදල් ගසා කන එක නවත්තන්න. එහෙම නැතුව නාමල් රාජපක්ෂ හරි, බැසිල් රාජපක්ෂ හරි, යෝෂිත රාජපක්ෂ හරි අත්අඩංගුවට අරගෙන දින කීපයක් රක්ෂිත බන්ධනාගාරගත කරල ජනතාව රවට්ටනව බලන්නවත්, මේ ආණ්ඩුවත් පහුගිය ආණ්ඩුව වගේම වංචා දූෂණ කරනවා බලන්නවත් නෙමෙයි. 

කොහොම වුණත්, මේ අයථා ගනුදෙනුවට පාඨලී චම්පික රණවකත් ප‍්‍රසම්පාදන කමිටුවේ අයත් අභියාචනා කමිටුවේ අයත් පිළිතුරු දෙන්න  ඕනෙ, කොහොමද මේ වංචාව සිදු වුණේ කියල. ඒ වගේම මෙම වංචාවට  වගකිවයුතු සියල්ලන්ම අධිකරණය ඉදිරියට ගෙනවිත් ප‍්‍රශ්න කිරීමත් මේ මොහොතෙ අනිවාර්ය කටයුත්තක් වෙනවා."

ලංකා ඉරිදා සංග්‍රහය

Share on Google Plus