නව ව්‍යවස්ථාව ගැන අගමැති තදින් සිටියි.


වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නීතිගත කර තිබෙන විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් දැඩිව පෙනී සිටීමට එම පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කර පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් සහිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවට ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා රටට දුන් ප‍්‍රතිඥාවට අනුව ජූලි මාසය අවසන් වීමට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාව ලබා නොදෙන්නේ නම්, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අතහැර, ඒ බව රටට ප‍්‍රකාශ කිරීමට අගමැති වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ද එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මීට පෙර අවස්ථාවක විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් ඉවත් නොකළ යුතු බවට තීන්දුවක් ගෙන තිබිණි. එම තීන්දුව මේ වනතුරු වෙනස් නොවීම මෙන්ම, ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ මැති ඇමැතිවරුන් නව ව්‍යවස්ථාව පිළිබඳව මාධ්‍යයට කරන ඇතැම් නිෂේධනාත්මක ප‍්‍රකාශ මත අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇත.

එහෙත් ශ‍්‍රීලනිපයට සම්බන්ධ විද්වතුන් පෙන්වා දෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ දී විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට පොරොන්දුවක් නොදුන් බවය. සිරිසේන මහතා ඉදිරිපත් කළ ‘මෛත‍්‍රී පාලනයක් ස්ථාවර රටක්’ නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පළමු පරිච්ඡේදයේ 14 වන පිටුවේ ‘අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම’ නම් කොටසේ මේ සම්බන්ධයෙන් පැහැදිලිව සටහන් කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි. එම කොටසේ සිරස්තලයේම සඳහන් වන්නේ ‘අසීමිත බලතල සහිත’ එම ධුරය වෙනස් කිරීම මිස ඒ මුළුමනින්ම වෙනස් කරන බව නොවන බවත් එම කොටසේ ඇති වගන්තියක සඳහන් වන්නේ ”.... පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ දී අත නොතබන බවට මම සහතික වෙමි...” යන්නය.

ඒ අනුව සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයකට යා යුතු වෙයි. ඒ තබා එම ධුරයේ ඇති අසීමිත බලතල සහිත වගන්ති බොහොමයක් වෙනස් කිරීමට ජනමත විචාරණයකට යා යුතුව තිබේ. ඒ අනුව ඒ දුන් පොරොන්දුව ජනාධිපතිවරයා කඩ නොකරනු ඇති බව එම විද්වතුන් පෙන්වා දෙයි. මේ අතර තවමත් කෙටුම්පත් වෙමින් පවතින යෝජිත ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි ස්ථානය සහ ඒකීයභාවය වෙනස් නොකර ව්‍යවස්ථාව වෙනස් කිරීමට නිර්දේශ කිරීමත් සමඟ රටේ ආරක්ෂාවට විධායක ජනාධිපති ධුරය තිබිය යුතු බවට වූ තර්කයක් ශ‍්‍රීලනිපය ගොඩනගමින් සිටී.

එහෙත් එජාපය සඳහන් කරන්නේ එම පොරොන්දුව දුන්නේ පවතින ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනය සම්බන්ධයෙන් පමණක් බවය. 19 වන ව්‍යස්ථා සංශෝධනයෙන් සිදු කෙරුණේ එම පොරොන්දු ප‍්‍රකාර සංශෝධනයක් බව ද එජාපය පෙන්වා දෙයි. නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බව ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන සටන් පාඨයක් වූ බවත් එය ජනාධිපතිවරයා වෙතින් ද ප‍්‍රකාශයට පත් වූ බවත් එජාපයට සම්බන්ධ විද්වතුන් පෙන්වා දෙයි.

නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට එරෙහිව මහින්දවාදී කණ්ඩායම් ද මේ වන විට ව්‍යාජ ප‍්‍රකාශ සමාජගත කරමින් තිබේ. ලිංගික විපර්යාසයට ලක් වූවන් මෙන්ම සමලිංගිකයන් ආදී සමාජයෙන් කොන් වූ පිරිස්වල අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට නිර්දේශ කර තිබීම යන කරුණු පදනම් කරගෙන ව්‍යවස්ථා සංශෝධනය බටහිර කුමන්ත‍්‍රණයක් බව අර්ථ දක්වමින් නව ව්‍යවස්ථාව කඩාකප්පල් කිරීමට ඇල්ලේ ගුණවංශ හිමියන් සහ විමල් වීරවංශ ඇතුළු ජාතිවාදී කොටස් ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බලපෑම් කරන බව ද දැනගන්නට ඇත.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව වී තිබෙන්නේ ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් කර ගැනීමය. මන්ද, පසුගිය කාලයේ සම්මුතික ආණ්ඩුවේ තීන්දු තීරණ රැසක් ජනාධිපතිවරයා විසින් ශ‍්‍රීලනිපයේ අවශ්‍යතාව වෙනුවෙන් සිය විධායක බලතල යොදා වෙනස් කිරීමට ගත් උත්සාහය අගමැතිවරයාගේ කලකිරීමට ද හේතු වී තිබේ. එමෙන්ම මහ බැංකු අධිපතිවරයා පිළිබඳ ප‍්‍රශ්නයට පවා ජනාධිපතිවරයා මැදිහත් වූයේ එම විධායක ජනාධිපති ධුරයේ බලතල උපයෝගී කරගෙනය. එමෙන්ම ශ‍්‍රීලනිපයේ බලවත් හතුරු පාර්ශ්ව දෙක වන මෛත‍්‍රී පාර්ශ්වය සහ මහින්ද පාර්ශ්වය බෙදී වෙන් වී නොයා තවදුරටත් ශ‍්‍රීලනිපය තුළම රැඳී පැවැතීමට ද මෙම විධායක ජනාධිපති ධුරය බලපා තිබේ. එක්සත් ජාතික පක්ෂය ශ‍්‍රීලනිපයේ මෙම දෙකඩ වීම අපේක්ෂාවෙන් සිටියේය. කෙසේ නමුත් මේ වන විට එජාපය අපේක්ෂා කළ ආර්ථික සැලසුම් ප‍්‍රකාරව සම්මුතික ආණ්ඩුව තුළ හිඳිමින් තවදුරටත් ඉදිරියට යෑමේ අසීරු බව සම්බන්ධයෙන් සාකච්ඡුාවක් මේ වන විට එජාපය තුළ හට ගෙන ඇති බව ද දැන ගැනීමට ලැබී තිබේ.

- ඩී. මංජුල කුමාර
SathHanda

Share on Google Plus