නාමල්ට බන්ධනාගාරයෙන් මෙට්ටයක්.


මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිදාගැනීමට රැඳවියන්ට සුපුරුදු පැදුර වෙනුවට මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

තමන්ට නිදාගැනීම සඳහා මෙට්ටයක් ලබා දෙන්නැයි නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සලකා බලා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා විසින් දෙන ලද නිර්දේශය මත මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර අධිකාරිය කටයුතු යොදා ඇත.

නාමල් රාජපක්ෂ මහතා ‍යෝග ව්‍යායාම කරමින් අනික් රැඳවියන්ට ද උගන්වමින් සුවසේ මැගසින් බන්ධනාගාරයේ වෙසෙන බවට පළවූ පුවත් පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා පැවසූයේ එය මුළුමනින්ම අසත්‍යයක් බවයි. රැඳවියන්ට යෝග ව්‍යායාම හෝ ශාරීරික අභ්‍යාස පුහුණුවක් ලබා දෙන්නේ නම් එය සිදුකරන්නේ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු මඟින් බවත්, තවත් එක් රැඳවියකු විසින් තවත් රැඳවියකුට වෙනත් යෝග පුහුණු හෝ කිසිදු පුහුණුවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කිසිසේත් අවසර ලබා නොදෙන බවත් උපුල්දෙණිය මහතා කියයි.

නාමල් රාජපක්ෂ මහතා රැඳවියන්ට යෝග ව්‍යායාම උගන්වන්නේ යැයි විපක්ෂයේ එක්තරා දේශපාලනඥයකු පසුගියදා කළ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ද උපුල්දෙණිය මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතාට මේ වන විට අවසර ලබා දී ඇත්තේ නිවසින් රැගෙන එන ආහාර ලබාගැනීමටත් ඔහුට බන්ධනාගාරයෙන් ලබාදෙන පැදුර වෙනුවට මෙට්ටයක් භාවිත කිරීම පමණක් යැයි ද උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

මැගසින් බන්ධනාගාරයේ එල්. ටී. ටී. ඊ. සැකකරුවන් රඳවා ඇති බැවින් නාමල් රාජපක්ෂ මහතා වෙනු‍ෙවන් ජේලර්වරයෙකු ද යොදවා විශේෂ ආරක්ෂාවක් එම බන්ධනාගාරය තුළ ලබා දී ඇත.

මේ අතර ඊයේ (14) නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් වීමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, යෝෂිත සහ රෝහිත රාජපක්ෂ මහත්වරුන් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද, මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ. රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතාට සපයා ඇති පහසුකම් පිළිබඳ සොයා බැලීම සඳහා නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ද ඊයේ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

Share on Google Plus