නිමල් පෙරේරා, නාමල්ගේ කෙරුවාව හෙළිකරලා.


පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම හරහා පටු දේශපාලන වාසි ගැනීමට රජයට අවශ්‍ය නොවන බවත්, නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරකු වන පෑන් ඒෂියා බැංකුවේ සභාපති මෙන්ම රෝයල් සෙරමික් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා වන ප්‍රකට ආයෝජක වන්නවත්ත වඩුගේ නිමල් පෙරේරා මහතා  මහේස්ත්‍රාත් අධිකරණයක විනිසුරුවරයකු හමුවේ සිදුකල පාපොච්චාරනයකින් සියලු චෝදනා තහවුරු වන බවත්  විදුලිබල හා බලශක්ති පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.  

නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගෙන ඇත්තේ සියයට සියයක්ම නීත්‍යානුකූල ලේඛන පදනම් කරගෙන බවද නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි.

ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විග්‍රහයක් කළ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

''නාමල් රජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුවුණු නීතිමය ක්‍රියාවලිය සමාජය දන්නේ නෑ. මේ සඳහා වූ පැමිණිල්ල පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පළමුවෙන්ම ඉදිරිපත් කළේ 2015 දෙසැම්බර් 26 දා, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැවුම්කරු වසන්ත සමරසිංහ මහතායි. ඔහු එක්සත් ජාතික පක්ෂය හා කිසිදු සම්බන්ධයක් ඇති අයෙක් නොවේ. ‍

මේ සම්බන්ධයෙන් B/195/216 බී වාර්තාව පළමුවෙන්ම ඉදිරිපත් වන්නේ 2016 ජනවාරි 03 දා .දෙවැනි වාර්තාව එම වසරේ ජනවාරි 12 දිනත්, තෙවැන්න ජනවාරි 19 දිනත් ,සිව්වැන්න පෙබරවාරි 01දිනත්,අවසන් වාර්තාව පෙබරවාරි 19 දාත් ඉදිරිපත් වී තිබෙනවා . මෙම අවසන් වාර්තාවේ කරුණු අනුව නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගත්තා.

මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල වාර්තා අනුව ගම්‍ය වී තිබෙනවා ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක ගනුදෙනුවකට නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධ බව. එහිදී  නිමල් පෙරේරා නම් ව්‍යාපාරිකයා සතුව HSBC බැංකුවේ ඇති ගිණුම් වෙත මෙම සමාගමෙන් රුපියල් මිලියන 70 ක් නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තැන්පත් කළ බවට මෙම විමර්ශනවලදී සාක්ෂි ලබා දී තිබෙනවා.

 ක්‍රිෂ් සමාගම මෙහිද පවසන්නේ නාමල් රාජපක්ෂගේ ඉල්ලීම මත නිමල් පෙරේරාගේ පෞද්ගලික ගිණුමට බැර කළ බවයි. නිමල් පෙරේරා මෙම පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා මේ සඳහා තමන්ගෙන් පෞද්ගලික ගිණුම් අංක ලබා ගත් බවයි. 

නිමල් පෙරේරා මහතා තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ වාර දෙකකදී නාමල් රාජපක්ෂ මහතා මෙම මුදල් තම ගිණුමෙන් ආපසු ලබා ගෙන ඇති බවයි. මේවා අප ඉදිරියේ කියූ දේවල් නොවේ, අධිකරණය ඉදිරියේ පැවැසූ දේවල් .

නාමල් රාජපක්ෂගෙන්පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය , මෙම මුදල අදාල සමාගමෙන් ගත් මුදල කුමන අරමුණකින් ලබා ගත්තාද ? ඒවා වියදම් කළේ කෙසේද යනුවෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී නාමල් මන්ත්‍රීවරයා පිළිගෙන තිබෙනවා, ක්‍රිෂ් සමාගමෙන් මුදල් ලබාගෙන ඒවා නිමල් පෙරේරා මහතාගේ නමින් HSBC බැංකුවේ ඇති ගිණුම් වෙත බැර කළ බව. ඒ වගේම මෙම මුදල් තමන්ට ආපසු නිමල් පෙරේරා මහතා ලබා දුන් බවත් ඔහු පිළිගෙන තිබෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ 2013 වසරේදී සුපර් සෙවන් රග්බි තරගාවලියට ලබා දුන් බවයි. මෙහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට FCID ය කළ විමර්ශනයේදී ඇත්තේ සුපර් සෙවන් රග්බි තරගාවලියේ සියලු විධායකයන් ප්‍රකාශ ලබා දී ඇත්තේ මෙම මුදල් තමන් රගර් ක්‍රීඩාව සංවර්ධනයට හෝ ඒ සම්බන්ධ තරගවලට යොදා නොගත් බවයි. 

ක්‍රිෂ් සමාගම මගින් නාමල්ට කිසිඳු මුදලක් රගර් ක්‍රීඩාව සංවර්ධනය වෙනුවෙන් ලබා දී නැති බවද මෙහිදී එම විධායක සාමාජිකයන් පවසා තිබෙනවා. මේ ප්‍රකාශ ලබා දුන් අය යහපාලන රජයේ ආධාරකරුවන් හෝ එහි ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ අය නොවේ.

මේ ප්‍රකාශද සටහන් කර ගෙන මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශනය කළ FCID ය පසුගිය 11 දා නාමල් රාජපක්ෂ මහතා සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාවද්‍ය පරිහරණය,වංචාව යන චෝදනා මත අත්අඩංගුවට ගන්නේ මේ රුපියල් මිලියන 70ට මොකද වුණේ කියලා නිසි පිළිතුරක් ඔහුට ලබා දීමට ,ඔප්පු කිරීමට නොහැකිවු නිසයි.

 අනෙක් අතට ක්‍රිෂ් සමාගම කටඋත්තර ලබා දීමේදී අප්‍රසාදය පළ කර සඳහන් කර තිබෙනවා තමන් විසින් ලබා දුන් රුපියල් මිලියන 70 ක මුදල අවභාවිත කිරීම පිළිබඳව.

මේ චෝදනාව එල්ල වූ‍ණේ පෙරේරාට ද , සිල්වාට ද ,රාජපක්ෂට ද කියන එක නෙවෙයි මෙතැන පෙනෙන්නේ රටේ ඕනැම පුරවැසියකුට නීතිය එක ලෙස ක්‍රියාත්මක වනවාද කියයි. අධිකරණ වාර්තා සැලකිල්ලට ගනිමින් ,මේ ගැන ලැබී තිබෙන සාක්ෂි අනුව ,රටේ ක්‍රියාත්මක නීතිය අනුව තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. 

චෝදනාවකට අදාලව සාක්ෂි විමසලා රටේ නීතිය අනුවයි ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ. මේ චෝදනා නීතිපතිවරයාට යොමු කරලා, අධි චොදනා ගොනු කිරීම මගින් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයකින් පසුව නාමල් රාජපක්ෂ මහතා වැරැදි කරුවකු ද නිවැරදි කරුවකු ද යන්න තීරණය වනු ඇති.

මේ අය චොදනා කරනවා අපේ ඇමැතිවරයකු නාමල්ව අත්අඩංගුවට ගන්නට පෙරම අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශයක් කළ කියලා . ඇමැතිවරයා නාමල් ගැන කිව්වේ නෑ , ප්‍රසිද්ධියේ කාගේවත් නමක් ගමක් කිවේ නෑ. වැරදි කළ අය හෙට අනිද්දාම අත්අඩංගුවට ගන්නා බවයි පැවැසුවේ. මේ ගැන බොරු ප්‍රචාර කරනවා.

අපේ රජය මේ සිද්ධියේදී පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට කිසිඳු බලපෑමක් කළේ නෑ, නිර්භිතව තම රාජකාරිය මෙහිදී ඉටු කළ පොලිස් නිලධාරින්ට අපේ ප්‍රණාමය හිමි වනවා ''යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. 

Share on Google Plus