මහින්දගේ වරායේ සෙල්ලම්.


කොළඹ වරායේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලට බාධා සිදුකරමින් වරාය සේවකයන් රැසක් වසර 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු සඳහා පූර්ණකාලීනව යොදවා තිබුණ බවත් රාජපක්ෂ මහතා සහභාගිවන සෑම රැස්වීමකම ගීත ගායනා කිරීම එක සේවකයකුට පැවරී තිබුණ කර්තව්‍යය බවත් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය වුණි. වරාය හිටපු විධායක අධ්‍යක්ෂ සංජය සේදර සෙනරත් මහතාගේ උපදෙස් මත බවට ලිඛිත සාක්ෂි කොමිසම වෙත ලැබී තිබේ.

රාජකාරී කටයුතුවලින් වැළකී පූර්ණ කාලීනව රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවල නිරත වුණ සේවකයින් හැට දෙනෙකුට රුපියල් එක්කෝටි අටලක්ෂ නමසිය හැත්තෑවක මුදලක් වැටුප් සහ දීමනා ලෙස ගෙවා තිබේ. මෙම සේවකයින් වරායේ රාජකාරී කළ බවට සෙනරත් මහතාගේ අස්සනින් නිකුත් කළ ලේඛනයකි. අදාළ මුදල ගෙවීම හිටපු සභාපති ප්‍රියත්බන්දු වික්‍රම මහතා සිදු කර තිබෙන බවටත් විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ සනත් ජයසුරිය මහතා ඇතුළුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ කාර්යාලවලට අනුයුක්තව දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කර ඇත.

වරාය අධිකාරියේ අභ්‍යන්තර විගණන වාර්තාවෙන්ද සේවකයින් වරායේ සේවය නොකර දේශපාලන කටයුතු සිදු කර වැටුප් ලබා තිබෙන බව තහවුරු කර තිබේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ මෙම කරුණු අනාවරණය කරමින් පැවසුවේ කොස්තාපල් (70215) රොෂාන් ජයතිලක මහතා සිදු කරන ලද විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය කරගෙන ලිඛිත සාක්ෂි සොයාගෙන තිබෙන බවයි.

සෙනරත් මහතා රජය සතු මහපොල නැව කුලී පදනම මත ලබාගෙන රජයට කුලී නොගෙවමින් රුපියල් දහහතර කෝටි හතළිස් හතර ලක්ෂ අනූඑක් දහසක පමණ පාඩුවක් සිදුකර අවසා‍නයේදී නැව් සංස්ථාව නැව යකඩවලට විකිණීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

Share on Google Plus