ඒකාබද්ධ පා ගමනට වාරණ පිට වාරණ.

ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන හෙට (28) මහනුවර නගරයෙන්  ආරම්භ කිරීම වළක්වාලමින් නුවර මහේස්ත්‍රාත් අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ, දිළුම් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල හා ලොහාන් රත්වත්තේ ඇතුළු අනුගාමිකයින්ට මෙම නියෝගය පනවා ඇත.

එසේම මහනුවර නගරයේදී හෙට උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ එජාප සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන ද හවස 2න් පසු ආරම්භ කරන ලෙස දන්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල කබීර් හෂීම් යන අයට ද එම අධිකරණය නියෝගයක් පනවා තිබේ.

මේ අතර මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.කේ මහින්ද මහතා අද නියෝග කර ඇත්තේ හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාගමන සංවිධානය කරන නායකයෙකුට හා අනිද්දා මාවනැල්ලේදී පැවැත්වෙන එජාප සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කරන නාය‍කයෙකුට හෙට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.


මාවනැල්ල පොලීසිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා  බැලීමෙන් පසු මෙම නියෝගය දී ඇති අතර සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් නොවන ලෙස විකල්ප මාර්ග භාවිතා කරමින් එම කටයුතු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.

Share on Google Plus