සිමෙන්ති නිසා ඉන්දියාව උරණවීමේ අවදානමක්.


ශ්‍රී ලංකා රජය සමග සිමෙන්ති නිශ්පාදනය කිරීමේ ගිවිසුමකට එළඹ සිටින සීමාමහිත හොල්සිම් ලංකා සමාගම  'චයිනා රිසෝසස්' සමූහය යටතේ ක්‍රියාත්මක වන 'චයිනා රිසෝසස් සිමෙන්ට් හෝල්ඩින්ස් ලිමිටඩ්' සමාගමට විකිණීමට කටයුතු කිරීම නිසා චීන නියෝජිතයින් ගාල්ල සහ ත්‍රිකුණාමලය වරායන්හි ස්ථාපිත වීම හේතුවෙන් ඉන්දියානු රජය ශ්‍රී ලංකාව සමග උරණ වීමේ අවදානමක් ඇති බව දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති. 

කර්මාන්ත සහ වෙළඳ අමාත්‍යංශය යටතේ ඇති සිමෙන්ති සමාගමේ අනුදැනුමෙන් තොරව අදාළ වත්කම් විකිණීමට හොල්සිම් සමාගමට අයිතියක් නැති බව අමාත්‍යංශයේ ලේකම් T.M.K.B. තෙන්නකෝන් මහතා හොල්සිම් ලංකා සමාගමට ලිඛිතව පෙන්වා දී ඇති අතර මෙතෙක් ක්‍රියාත්මක වූ ගිවිසුමෙන් සමාගම අධික ලාභ ලබා ඇති බවත් ශ්‍රී ලංකා රජයට ලැබී ඇත්තේ සුළු ප්‍රතිශතයක් පමණක් බවත් වැඩි දුරටත් පෙන්වා දී ඇත. 

අනෙත් ඉල්ලුම් කරුවන් ඉල්ල ඇති මිලට වඩා අධික මෙන්ම ආයතනයේ වෙළඳපොල වටිනාකමට වඩා බොහෝ වැඩි මුදලකට චීනය විසින් හොල්සිම් සමාගම මිල දී ගැනීමට ඉදිරිපත් වීම චීනයේ කලාපීය බල වුවමනාවන් වෙනුවෙන් කෙරෙන්නක් බවට සැක පහළ වී තිබේ. පසුගිය රජය යටතේ හම්බන්තොට වරාය සහ වරාය නගරය හරහා කොළඹ වරායද චීනයේ දිගු කාලීන බලපෑමට යටත් කර ඇත. හොල්සිම් සමාගම විකිණිම හේතුවෙන් චීනයට ගාල්ල සහ ත්‍රිකුණාමල වරායන්හිද ස්ථාපිත වීමට ලැබීම ඉන්දියාව නොසන්සුන් කරවීමට හේතුවක් වනු ඇත. 

දරුණු අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ කලාපීය බලවතුන් වන ඉන්දියාව සහ චීනය සතුටු කරමින් යම් යම් ප්‍රතිලාභ ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්වයකට ශ්‍රී ලංකා රජය මුහුණ දී සිටියදී මෙම හොල්සිම් ගනුදෙනුව එකී බලවතුන් දෙපාර්ශ්වයම උරණ කර නොගන්නා ආකාරයෙන් සිදුවිය යුතු බව දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් සඳහන් කරති. 

Share on Google Plus