ගෝඨා ඇතුළට ගන්න! එජාපය බල කරයි - ශ‍්‍රීලනිපය බෑ කියයි.


රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත පදනම්ව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙන නමුත් ජනාධිපතිවරයා ප‍්‍රමුඛව ශ‍්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් එල්ල වී ඇති දැඩි අකැමැත්ත මත ඒ තවදුරටත් ප‍්‍රමාද වෙමින් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් මේ සම්බන්ධයෙන් කිසිඳු බලපෑමක් අගමැති වරයාගේ පාර්ශවයෙන් එල්ල වී නැති බව එම ආරංචි මාර්ග සඳහන් කළත් පැහැදිලිව චෝදනා සනාථව ඇති ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ඔහුගේ විරෝධය එල්ල වී ඇති බවත් දැනගැනීමට තිබේ. රාජ්‍ය දේපළ අවභාවිතාව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගත හැකිනම් එම චෝදනාවම එල්ල වී ඇති ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට නොගැනීම ගැටලූසහගත බව එජාප නායකත්වයේ මතය වී තිබේ.

ඩී.ඒ. රාජපක්ෂ පදනමේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබන පරීක්ෂණවල දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු සතුව තිබූ අමාත්‍යාංශ බලතල ඒ වෙනුවෙන් අවභාවිතා කර ඇති බව තහවුරු වී ඇත. ඒ අනුව, ඔහුව අත්අඩංගුවට ගත යුතු බව පොලීසියේ ස්ථාවරය වී ඇත.

මේ අතර නියමිත මිලට වඩා වැඩි මිලක් ගෙවමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගුණාත්මක භාවයෙන් අඩු මිග් යානා 4ක් යුකේ‍්‍රනයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී තිබේ. රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ ලංකා ලොජස්ටික් සමාගම එක් වී ව්‍යාජ විදේශීය සමාගමක් නිර්මාණය කර මෙම වංචාසහගත ගනුදෙනුව සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවල දී මෙම ගනුදෙනුවට අදාළව ගුවන් හමුදාව සතුව තිබිය යුතු ලියැකියවිලි අතුරුදන්ව ඇති බව ද අනාවරණය වේ. එනමුත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා මේ වංචාසහගත ගනුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශනය සඳහා පසුගිය දා යුකේ‍්‍රන රජයේ බලධරයින්ගේ සහාය ලබා ගැනීම සඳහා එම රජය හා එකඟතාවකට එළඹ තිබිණි. එම සංචාරය සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ද සහභාගී විය. එසේම සමරවීර මහතා සඳහන් කරන ආකාරයට මෙම චෝදනා ඔප්පු කර ගෝඨාභය රාජපක්ෂ මහතා වරදකරු වෙතොත් ඔහුගේ ප‍්‍රජා අයිතිය පවා අහෝසි කළ හැකි බව පවසයි.

එසේම, වසීම් තාජුඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සහ ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවී තිබේ. ඒ අනුව, ඔහුව වහාම අත්අඩංගුවට ගතයුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබෙන අතර, ශ‍්‍රීලනිප උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද ඒ ස්ථාවරය දරයි.

කෙසේ වුව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම්, ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින ඇතැම් ශ‍්‍රීලනිප ඇමැතිවරු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකර ඇති අතර මෛතී‍්‍රපාල සිරිසේන මහතා රාජපක්ෂ පවුල හා විරසකයක් තිබුණ ද එවකට ද ගෝඨාභය රාජපක්ෂ ඔහුට හිතවත්ව සිටීම මත ඔහු කෙරෙහි සහනශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවට ද වාර්තා පළ විය. එමෙන්ම වර්තමානයේ දී ද ගෝඨාභය රාජපක්ෂ මහතා සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂපාත ස්ථාවරයක සිට කටයුතු කරනු පෙනේ.

- සුභාෂ් ජයවර්ධන
SathHandha

Share on Google Plus