ෆ්‍රෙඩීට ගහපු අයට අදත් ඇප නෑ.


මීපුර වෙබ් අඩවියේ කර්තෘ ෆ්‍රෙඩී ගමගේ මහතාට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සැකකරුවන් දෙදෙනා ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (05) නියෝග කළේය.

සැකකරුවන්ට ඇප ලබාදීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරනු ලැබුවේ පසුගිය 28 වැනිදා හදුනාගැනීමේ පෙරෙට්ටුව කැදවූ අවස්ථාවේදී ප්‍රධාන සැකකකරු විසින් මීපුර කර්තෘවරයාට සිදුකළ තර්ජනය හේතුකොට ගෙනය.

මේ සම්බන්ධ පොලිස් විමර්ශන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ යටතට පත්කිරීමට ද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද නියෝග කරන ලදී.

අදාළ නඩුවට සම්බන්ධ දුරකථන දත්ත ලැබී මාසක් ගතවී ඇතත් මේ සම්බන්ධව පැහැදිලි පිළිතුරක් දීමට පොලීසිය අසමත් වන්නේ ඇයිද යන්න ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මීගමුව සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් විවෘත අධිකරණයේදී විමසා සිටියේය.

පිළිතුරු ලෙස ස්ථානාධිපතිවරයා විමර්ශනය සදහා කාලය ප්‍රමාණවත් නොවු බව කියා සිටියේය.

එහිදී පැමිණිල්ලේ නීතිඥවරුන් කියාසිටියේ බී වාර්තාවේ මුල් කටඋත්තර වල සදහන් පරිදි පැමිණිලිකරු විසින් තමන්ට මීගමුව හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් දුරකථන තර්ජනයක් තිබුණ බවට පැහැදිලිව ඉදිරිපත්ව තිබියදී එය නොසලකා හැර පොලිස් පරීක්ෂණ සිදුකරන බවයි.

එමෙන්ම හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ පළමු සැකකරු අතර පහරදීම සිදුවූ දින දුරකථන සංවාද 13ක් සිදුවී ඇති බවත් ඊට පෙර මැයි මාසයේ කිසිදු දුරකථන ඇමතුමක් නොමැති බවත් සදහන් කළ අතර මෙය නීතිමය ප්‍රකාරව කිසියම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුකිරීමේ හේතුවක් බවද පැමිණිල්ලේ නිතිඥ දන්ත නිරංජන මහතා විසින් අධිකරණයට දැන්වීය.

මේ නුඩව ලබන 12 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Share on Google Plus