අපිට සිඟිති ආතල් එපා ජනාධිපතිතුමනි අපි දැන් ලොකුයි.


මහින්ද ද මයි ත්‍රී ද මයි ත්‍රී ද මහින්ද ද ගිය අවුරුද්දෙ ජනවාරි අටට කලින් චීස් කෑල්ල ගාව මීයා වගේ  කල්පනා කර කර හිටිය අපි අන්තිමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති හැටියට පත් කරගත්තා.

අපේ ඡන්ද වලට කිවවේ පාවෙන ඡන්ද කියලා. පස්සෙ ඔය ඇරිස්ටෝටල්ලාටත් එහා ගිය විචාරකයෝ කිව්වට පස්සෙ තමයි දැනගත්තෙ එතුමාගේ ජයග්‍රහණයට අපේ ඡන්දත් ලොකු බලපෑමක් කළා කියලා.

මහින්ද හොරා හොරා රට කෑවා කෑවා කියලා එක්දාස් එකසිය අටවාරයකටත් වඩා අපේ මොළවලටම ජප කරලා තිබ්බ නිසා කපලා ගඟේ මූදෙ දැම්මත් ඒ වෙලාවෙ අපේ ඡන්දෙ මහින්දට වැට්ටුවා නම් බොරු.

කිව්ව වගේ මෙයා රම්බෝ වගේ ඇවිත් හොරා කාපු එවුන් සේරම අල්ලලා බෲස්ලි වගේ නෙළාගෙන නෙළාගෙන ගිහින් මහින්ද සරත් ෆොන්සේකාව හිරේ යැව්ව වගේ සේරම හොරු වැලිකඩ යවයි කියලා අපි කැට තිව්වා.

අපේ අවාසනාවද රටේ අවාසනාවද දන් නෑ. ඒ දවස්වල ඔන්න අල්ලනවා මෙන්න අල්ලනවා බිග්ෆිෂ් කෙනෙක් ඇතුළට දානවා කිව්වට අද වෙනකල් අඩු තරමේ ආසාවට හාල්මැස්සෙක් වත් අල්ලනවා  හැබැයි අපි නම් දැක්කෙ නෑ.

හොරා කෑවා කිව්ව උන් හිරේ යනකල් ඇටසැකිලි වෙනකල් වුණත් බලන් ඉන්න බැරි කමක් නෑ.

තාජුඩීන් මරපු උන් එක්නැලිගොඩලා ලලිත් ලා කූගන් ලා උස්සපු උන් ඇවන්ගාඩ් අවි ජාවාරම් කරපු උන් යුධ අපරාධ කරපු උන් පාරවල් වලින් ගසා කාපු උන් රත්තරන් දාන ගාණට කාපට් පාරවල් දාපු උන් දළඳා මාළිගාව ඉස්සරහා නයිට් රේස් ගියපු උන් ලැම්බෝගිනි පැදපු උන් ගෙන් හිර ගෙවල් පිරිලා යයි කියලා හිතාගෙන දහ අටෙන් කුළුදුල් ඡන්දෙ පාවිච්චි කරපු අපිට සිඟිති ආතල් දෙන එක තමයි දිරවන්නෙ නැත්තෙ.

ඔබතුමා වීරයෙක් වගේ ඇවිත් සේරම මහා පරිමාණ අපරාධ කාරයෝ මහ උකුගෙදර කූරු ගනින්න යවනකල් තාමත් බෙලි උළුක්කු කරන් බලන් ඉන්න අපිට ඔබතුමාගේ විහිළු වලට ඉල ඇදෙන්න හිනා යන්නෙ නැති බව කියන්න ඕන.

එක එකා කූඩුවලට දාලා වහලා බොරු ආතල් ගන්නෙ නැතුව අපිත් එක්ක හැටදෙලක්ෂයක් ඡන්දෙ දීපු මිනිස්සුන්ට ගිය නුවණ ඇතුන් ලවා හරි අද්දවගන්න නොහිතෙන විදියට එළියෙ ඉන්න එක සතෙක් හරි ඇත්තටම කූඩු කරලා පෙන්නන්න.

එහෙම නැතුව සිඟිති ආතල් දුන්නොත් අර ජනාධිපතිවරණෙ දවසේ මහින්ද අරන් ආව ඩමියෙයි ඔබතුමාගෙයි වෙනසක් නැති වෙයි. ඒ නිසා තනියෙන් ආතල් ගන්නෙ නැතුව ගන්න ආතල් එකක් අපිත් එක්කම ගන්න.

නැත්නම් අපිට ජාත්‍යන්තරේට මූණ දෙන්න අමාරුයි.



Lanka News Room 

Share on Google Plus