ඡායා කැබිනට්ටුවට බැසිල් නෑ - නාමල්ට, චමල්ට ඇමති ධූර


ඒකාබද්ධ විපක්ෂය බලයට පත් වුවහොත් පත් කරන කැබිනට් ඇමැති මණ්ඩලය ඔවුන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ.

50දෙනකුගෙන් සමන්විත එම ඡායා කැබිනට්ටුවේ අගමැති, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා ආරක්ෂක ඇමැතිවරයා ලෙස නම් කර ඇත්තේ හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාය.

දිනේෂ් ගුණවර්ධන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති ලෙස ද, චමල් රාජපක්ෂ මහතා ප්‍රවාහන සහ ගුවන් සේවා ඇමැති ලෙස ද, ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ලෙස ද, කුමාර වෙල්ගම මහතා වරාය හා නාවික කටයුතු ඇමැති ලෙස නම් කර තිබේ.

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද, මුදල් ඇමැති ලෙස බන්දුල ගුණවර්ධන මහතා ද, නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති ලෙස විමල් වීරවංශ මහතා ද නම් කර තිබේ.

වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා,  ප්‍රතිසන්ධාන, ජාතික සහජීවනය සහ රාජ්‍ය භාෂා ඇමැති ලෙස ද, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමාජ සවිබලගැන්වීම් සහ සමාජ සේවා ඇමැති ලෙස ද, සාලින්ද දිසානායක වැවිලි කර්මාන්ත සහ වතු යටිතල පහසුකම් ඇමැති ලෙස ද, සී.බී රත්නායක වාර්මාර්ග සහ ජල සම්පත් ඇමැති ලෙස ද නම් කර ඇත.

එම ඡායා කැබිනට්ටුවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස නම් කර ඇත්තේ මහින්ද යාපා අබේවර්ධන මහතාය.

ගාමිණි ලොකුගේ මහතා කම්කරු ඇමැති ලෙස ද, කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලෙස ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කර්මාන්ත හා වාණිජ ඇමැති ලෙස ද, චන්ද්‍රසිරි ගජධීර මහතා අධිකරණ සහ ව්‍යවස්ථා සම්පාදන ඇමැති ලෙස ද නම් ඡායා කැබිනට්ටුවේ නම් කර ඇත.

නාමල් රාජපක්ෂ මහතාට වෙන් කර ඇත්තේ විදේශ කටයුත අමාත්‍ය ධූරයයි. නීතිය හා සාමය ඇමැති ලෙස නම් කර ඇත්තේ උදය ගම්මන්පිල මහතාය.

කෙසේ වෙතත් එම අමාත්‍ය මණ්ඩලයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නම් කර නොතිබිණි.

Share on Google Plus