ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හා ජනපති අතර හමුවක්.


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී හෙට (25) පැවැත්වීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම සාකච්ඡාව සඳහා වන ආරාධනය සිදු කළ බවයි.

මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන මන්තී‍්‍රවරුන්ටද ආරාධනා ලැබී ඇත.

නාමල්ට ආරාධනයක් නැහැ :

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර සඳහන් කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් රැසකට මෙම සාකච්ඡාව සඳහා මෙතෙක් ආරාධනා ලැබී නොමැති බවයි.

නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාටද මෙම සාකච්ඡාව සඳහා ආරාධනා ලැබී නොමැත.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති කරගත් එකඟතාව අනුව පිහිටුවා ගැනුණු ජාතික ආණ්ඩුවේ කාලසීමාව තවත් වසර තුනකින් දීර්ඝ කරන බව පක්ෂ දෙකෙහි ලේකම්වරුන් ඉකුත්දා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර හෙට (25) පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම තීරණය සම්බන්ධයෙන් සහ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සිදුකරන පා ගමන පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇතැයි පැවසේ.

කලබලවෙන්න එපා :

මේ අතර, මහනුවරින් ආරම්භ කෙරෙන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කලබලයට පත්විය යුතු නැතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එම විරෝධතා පාගමන ආණ්ඩුවට එරෙහි ක‍්‍රියාමාර්ගයක් මිස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි ක‍්‍රියාමාර්ගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියේය.

(නෙත් නිවුස්)

Share on Google Plus