තොරතුරු දැනගැනීමේ පනතින් ඇත්තටම මොකද වෙන්නේ!


මෙරට දේශපාලන සංස්කෘතිය මෙන්ම රාජ්‍ය පරිපාලන සංස්කෘතියද පුළුල් වෙනසකට භාජනය වීමට ඉඩ තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැණුනි. දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් තවමත් තොරතුරු දැනගැනිමේ නීතිය දක්නට නොලැබෙන්නේ ශ්‍රී ලංකාව සහ භූතානයේ පමණි. තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත වීමේ අවශ්‍යතාව පිළිබඳව පුළුල් කතිකාවතක් තවමත් මෙරට සමාජයේ ආරම්භ වී නොතිබුණද, පසුගිය දශක එක හමාරක කාලය තුළ මෙම අදහස වරින්වර මතු වී යටපත් විය. 


තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතියේ මූලික හරය වන්නේ රටක රජය සතුව තිබෙන තොරතුරු මහජනතාව සතුය යන්න නෛතික වශයෙන් පිළිගැනීමයි. මෙම නීතිය මගින් රජය, රාජ්‍ය ආයතන, සංස්ථාපිත ආයතනවල තීරණ, ප්‍රතිපත්ති, සැලසුම් සහ ක්‍රියාකාරකම් මහජනතාවට විවෘත කරමින් එම තොරතුරුවලට ප්‍රවේශ වීමට මහජනතාවට ඉඩ සලසන නෛතික තත්ත්වයක් සහ යාන්ත්‍රණයක් සකස් කරනු ලබයි. මෙහිදී තොරතුරු යන්නට පහත සඳහන් කරුණු ඇතුළත් වේ.

01 රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් මහජනතාව පිළිබඳව තබාගෙන තිබෙන තොරතුරු.

02 රාජ්‍ය ආයතනවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල ජන ජීවිතයට බලපාන ආකාරයට කරනු ලබන ක්‍රියාකාරකම්වල තොරතුරු.

03 පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතනවල නීති සම්පාදන, අයවැය සහ දෛනික ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු.

තොරතුරු දැනගැනීමේ අයිතිය යන්න අත්නොහළ යුතු මූලික අයිතිවාසිකමක් වශයෙන් ජාත්‍යන්තර වශයෙන් දීර්ඝ කාලයක සිට පිළිගෙන තිබේ. 1948 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනය සහ 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය මගින්ද 'සියලු දෙනාටම කිසිම බලපෑමකින් තොරව මත දැරීමට, ඒ සඳහා ප්‍රවේශවීමට, අපක්‍ෂපාතී නිවරදි තොරතුරු වෙත කිසිම සීමාවකින් තොරව ප්‍රවේශවීමට අයිතිය තිබේය යන්න පිළිගෙන තිබේ.' ලොව ප්‍රථම වතාවට තොරතුරු දැනදැනීම නීතිගත කළේ 1776 තරම් ඈත අතීතයේදී ස්වීඩනය විසිනි.

මෑත දශකයේ ලෝකයේ බොහෝ රටවල රෙජීම පාලනයන් බිඳවැටී නව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයක් ගොඩනැගෙමින් තිබේ. එම රටවල සම්පාදිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල දක්නට ලැබෙණ මූලික ලක්‍ෂණයක් වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කිරීමේ විධිවිධාන ඊට ඇතුළත්ව තිබීමයි. මේ වනවිට කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, බංග්ලාදේශය වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල මෙන්ම යුරෝපා සහ ස්කැන්ඩිනේවියානු රටවලද, දකුණු අප්‍රිකාව ප්‍රමුඛ අප්‍රිකානු රටවලද, ඇමෙරිකාවේද තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කර තිබේ.


තොරතුරු දැනගැනීමේ නීතිය

වර්තමාන ලෝකයේ දේශපාලන න්‍යාය පත්‍රයේ මුල් තැනට පැමිණීමට බලපා ඇති සාධක ගණනාවක් හඳුනාගත හැකිය. රටක තොරතුරු සඳහා ප්‍රවේශ වීමට එරට ජනතාවට අයිතිය සහ අවස්ථාව තිබේ නම්, එමඟින් එම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය පිළිබිඹු කරනු ලබයි. මේ වනවිට ගෝලීයව ආණ්ඩු වඩ වඩාත් විවෘතභාවයෙන්, විනිවිදභාවයෙන් යුතු සහ වගවීම සහිත ආණ්ඩුකරණයකට මාරුවෙමින් තිබේ. රහසිගත, ආවෘත රාජ්‍ය පාලන සංස්කෘතියක් විසින් අවිශ්වාසය, සැකය, නොපැහැදිලි බව ජනිත කරනවා පමණක් නොව එය රටක දූෂණ, වංචා, අක්‍රමිකතා, අකාර්යක්‍ෂමතාව, දුගී බව, නොසන්සුන් බව ඉහළ නංවමින් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී යහ පැවැත්ම අර්බුද කරා තල්ලු කරනු ලබයි. තොරතුරු දැනගැනීමේ නීතිය මගින් කරුණු ගණනාවක් සාක්‍ෂාත් කරගැනීමට අපේක්‍ෂිතය.
01 රටක ප්‍රතිපත්ති තීරණය කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාවට නැංවීම සඳහා මහජන සහභාගිත්වය ලබාගැනීම.

02 රජය සහ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ මහජන විශ්වාසය ගොඩ නැගීම.

03 පවතින දැඩි අධිපතිවාදී නිලධාරීමය රාජ්‍ය පරිපාලන සංස්කෘතිය වෙනස් කර රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය කාර්යක්‍ෂම සහ ඵලදායී තත්ත්වයකට පත් කිරීම.

04 දූෂිත බවින් අඩු මානව හිමිකම් සුරකින, පරිසර හිතකාමී, සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීම.

05 දුගී බව නැති කිරීම සහ ප්‍රතිසංවිධානය, සංහිඳියාව සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ආදිය ඒ අතර මුල්තැනක් ගනී.
මහජන සහභාගිත්වය.

රටක වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් පැවැත්වීමට නම්, තීරණ ගැනීමේ සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සහභාගි වීමට රටේ මහජනතාවට උපරිම අවස්ථාවක් තිබිය යුතුය. විනිවිදභාවය සහ රාජ්‍ය තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ නිදහස පුරවැසියාට නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් සඳහා මහජන සහභාගිත්වයක් ඇති නොවේ. තම ඡන්දයෙන් තෝරාපත් කරනු ලබන මහජන නියෝජිතයන් සහ මහජන අරමුදලින් යැපෙන රාජ්‍ය සේවකයන් කරන්නේ කුමක්ද, මහජන අරමුදල් සම්බන්ධව ඔවුන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? යන්න පිළිබඳව රටේ මහජනතාවට දැනගැනීමට අවස්ථාව නොතිබීම උත්ප්‍රාසජනකය.

එහෙත් අද ලෝකයේ බොහෝ රටවල ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සඳහා පුරවැසි සහභාගිත්වය දක්නට ලැබෙන්නේ අවම වශයෙනි. වසර 05කට වරක් පැවැත්වෙන මැතිවරණයකදී තම නියෝජිතයන් වෙනස් කිරීමට ලැබෙන අවස්ථාවට බොහෝ විට එය සීමා වේ. අනිත් අතට යටත් විජිත පාලනයක් පැවැති බොහෝ රටවල යටත් විජිත සමයේ හඳුන්වාදුන් අධිපතිවාදී නිලධාරී සංස්කෘතියක් ඇති කළ යල් පැනගිය නීති සහ රෙගුලාසි තවමත් ක්‍රියාත්මක වේ. සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල තවමත් රාජ්‍ය අංශය විසින් රටේ ආර්ථික, සමාජ සහ සංස්කෘතික කටයුතු පිළිබඳ බලපෑමක් සහ වගකීමක් දරන බැවින් රාජ්‍ය අංශය විසින් පුරවැසියාගේ දෛනික ජීවිතය කෙරෙහි ඉතා ප්‍රබල බලපෑමක් සිදු කෙරේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් නිලධාරීවාදී අධිපති සංස්කෘතිය විසින් රටේ පුරවැසියන් පීඩනයට පත් කිරීම, යටත්වැසියන් හෝ දෙවැනි පුරවැසියන් බවට පත්කිරීම අප වැනි රටවල සාමාන්‍යකරණය වී තිබේ. රාජ්‍ය සේවකයන් තමන් භාරයේ තිබෙන තොරතුරු, ලිපිගොනු, තමන්ගේ පෞද්ගලික දේපොළක් වශයෙන් සලකන නිලධාරී සංස්කෘතියක් අප වැනි රටවල පවතී. සාම්ප්‍රදායික නිලධාරී තන්ත්‍රය තමන් සතුව තිබෙන රාජ්‍ය තොරතුරු තම බලය පෙන්වන මෙවලමක් වශයෙන් යොදාගන්නා අවස්ථාද බහුලය.

රජය ගනු ලබන තීරණ සහ ක්‍රියාවට නංවන දෑ පිළිබඳව අදහස් දැක්වීමට සහ ඒවා පුරවැසි යහපතට හේතුවන ආකාරයට නැවත සකස් කරගැනීමට ආණ්ඩුවට බලපෑම් කිරීමට රටේ මහජනතාවට අවස්ථාවක් නොමැත. තොරතුරු දැනගැනීමේ නීතිය මගින් ජනතාවට තොරතුරු වෙත ප්‍රවේශවීමට අවස්ථාව ලැබීමෙන් මෙම ගැටලුවට බොහෝ දුරට විකල්ප විසඳුමක් සපයයි. මහජන නියෝජිතයන් විසින් ගනු ලබන තීරණ වඩාත් විවෘත වන්නේ නම්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ට මානව යහපත පිළිබඳ ප්‍රවේශයකින් ඒවාට ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව හිමි වේ.

නව නීති සම්පාදනයේදී මෙන්ම, පොදු දේපොළ, පොදු අරමුදල් භාවිතයේදීත් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නට තම අදහස්, මත විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ එම තොරතුරු මහජනතාව සඳහා විවෘත වුවහොත් පමණි. මේ තාක් රටක නීති පැනවීම, රටේ මහජනයා කෙසේ කටයුතු කළ යුතුද, හැසිරිය යුතුද යන්න තීරණය කළේ ආණ්ඩුව විසිනි. තොරතුරු දැනගැනීමේ නීතිය මගින් ආණ්ඩුව කෙසේ හැසිරිය යුතුද යන්න තීරණය කිරීමේ අවස්ථාව මහජනතාවට හිමි වේ. ඒ අනුව මෙම නීතිය එක්තරා අන්දමකට රටේ පුරවැසියාට ආණ්ඩුව පාලනය කිරීමට අවස්ථාව ලැබෙන්නක් වශයෙන් හැඳින්විය හැකිය.

දූෂණ සහ දුගී බව

දූෂණය ලෝකයේ සෑම රටකම දක්නට ලැබෙන පොදු ලක්‍ෂණයක් වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල වඩාත් කැපී පෙනේ. දූෂණය විසින් රටක යටිතල පහසුකම්, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි පොදු පහසුකම් සඳහා වෙන්වන මහජන අරමුදල් ගිල දමනවා පමණක් නොව විදේශ ආයෝජනද අධෛර්යමත් කරයි. එමගින් මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටීම, ආදායම් විෂමතාව ඉහළ යාම සහ ආන්තික ප්‍රජා කණ්ඩායම් සමාජයෙන් කොන්වීම සිදුවිය හැකි අතර, එය රටක දේශපාලන අස්ථාවරත්වය ඇති කරයි.

දූෂිත සමාජයක වඩාත් පීඩාවට සහ අසාධාරණයට ලක්වන්නේ සාමාන්‍ය ජනතාවයි. දූෂණය සඳහා ඉඩ සලසන ව්‍යුහයන් විසින් ආන්තික පුරවැසියන්ගේ ගැටලු උග්‍ර කරන අතර තොරතුරු දැනගැනීමේ නීතියට ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ආණ්ඩුව වගවන තත්ත්වයකට පත්කර යහපාලන ආණ්ඩුකරණයක් සඳහා බලපෑම් කිරීමට පුරවැසියා බලාත්මක කිරීමේ හැකියාව තිබේ.

දුගී බව පිටුදැකීමේ ව්‍යාපෘති පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාවට දැනගත හැකි නම් එම ව්‍යාපෘති සඳහා මහජන සහභාගිත්වය ඉහළ නංවාගත හැකිය. දරිද්‍රතාව පිටුදැකීමේ ව්‍යාපෘති පිළිබඳ තීරණ ගැනීම, සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීම පිළිබඳව රටේ පොදු ජනයා, නිලධාරීන් සහ දේශපාලඥයන් අතර වඩාත් පුළුල්, විවෘත සහ අර්ථාන්විත කතිකාවක් සඳහා තොරතුරු දැනගැනීම තුළින් ඉඩ සලසයි. එමඟින් ජනතාව බලාත්මක වන අතර, බලය හිමි කණ්ඩායම් සමග බලය අභ්‍යාස කිරීමට පොදු ජනයාට අවස්ථාව ලැබේ. එසේම මෙම ප්‍රවේශය තුළින් දුගී ජනතාවගේ ගැටලු සහ ඔවුන්ගේ අවශ්‍යතා දේශපාලන ක්‍රියාවලිය තුළ ප්‍රකාශයට පත්වීමට ඉඩ සලසාගත හැකිය.

තොරතුරු දැනගැනීමේ නීතියට දීර්ඝ කාලයක් යුද ගැටුම්වලට මැදි වූ රටවල සංහිඳියාව, ප්‍රතිසංවිධානය සහ නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ප්‍රබල භූමිකාවක් ඉටුකළ හැකිය. රටක ගැටුම් සමයේදී සිදු වූ මානව හිමිකම් කඩවීම පිළිබඳ තොරතුරු දැනගැනීමට පුරවැසියාට අයිතියක් තිබේ. ගැටුම්වලට මැදි වූ රටවල ආණ්ඩු බොහෝ විට සිදුකරන්නේ පශ්චාත් ගැටුම් සමය තුළ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය කෙරෙහි මිස, ගැටුම් සමයේ මානව හිමිකම් කඩවූවන්ට සාධාරණය ඉටු කිරීමට හෝ ඒ පිළිබඳව තොරතුරු ලබාදීමට නොවේ. තොරතුරු දැනගැනීමේ නීතිය මඟින් ගැටුම් පැවැති සමය පිළිබඳව අපක්‍ෂපාතී තොරතුරු දැනගැනීමට ඉඩ සලසයි.

ඉන්දියාවේ අත්දැකීම්

ලෝකයේ තොරතුරු දැනගැනීමේ නීතිය ක්‍රියාත්මක වන රටවල් අතරින් වඩාත් ප්‍රශස්ත සහ ඵලදායී භාවිතාවන් පවතින රටක් වශයෙන් ඉන්දියාව හැඳින්විය හැකිය. ඉන්දියාවේ තමිල්නාඩුව 1996දීත්, ගෝආ 1997දීත්, රාජස්ථාන, කර්ණාටක, කාෂ්මීර, මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්ත 2000 වසරේදීත්, දිල්ලි 2001 වසරේදීත්, මධ්‍යම ආණ්ඩුව 2002 සහ 2005 වසරවලදීත් තොරතුරු දැනගැනීමේ නීතිය නීතිගත කරනු ලැබීය. ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ නීතිය මහජනතාව අතරින් මතු වූ නීතියක් වශයෙන් හැඳින්විය හැකිය. එය මහජන ව්‍යාපාරයක් බවට පත්වූ එක් ස්ථානයක් වන්නේ රාජස්ථානයයි. රාජස්ථානයේ ගොවියන් සහ කම්කරුවන් එකතුව පිහිටුවාගනු ලැබූ MKSS සංවිධානයේ සාමූහික ක්‍රියාකාරකම් ඔස්සේ තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාව මතුවිය. MKSS සාමාජිකයින් රජයේ ආයතනවල සේවය කළ අතර, ඔවුන්ගේ රාජකාරි, ඔවුන්ට හිමි වැටුප කොපමණද යන්න ආදිය පිළිබඳව පැහැදිලි තොරතුරු ලබාදීම රාජ්‍ය නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඔවුහු ඊට අදාළ ලිපිලේඛන රහසිගතව තබාගෙන සිටියහ.

තම දෛනික ජීවිතයට ඍජුව බලපාන තොරතුරු සඟවාගෙන සිටීම පිළිබඳව MKSS සාමාජිකයන් බිම් මට්ටමේ මහජන සභාවකදී විවෘතව සාකච්ඡා කරනු ලැබීය. එම කතිකාවේ ප්‍රතිඵලයක් වශයෙන් ‘අපි දැනගන්නවා - අපි ජීවත්වෙනවා’, ‘අපේ සල්ලි - අපේ ගිණුම්’ ආදී සටන් පාඨ ඔස්සේ ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ මහජන ව්‍යාපාර මතු විය. මෙම මහජන ව්‍යාපාරයේ පොදු අරමුණ වූයේ විවෘතභාවය සහ වගවීම සඳහා වන යාන්ත්‍රණයක් සකස් කරගැනීමයි. මෙම ව්‍යාපාර ඔස්සේ තොරතුරු දැනගැනීමේ නීතියක අවශ්‍යතාව මහජනතාව තේරුම්ගත් අතර, ආණ්ඩුවේ රහසිගත බව දූෂණයට සහ දුගී බවට ඉඩ සලසන බවද ඔවුහු අවබෝධ කරගත්හ.


ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය

මෙරට පවතින්නේ මහජන නියෝජනයක් සහිත ආණ්ඩු ක්‍රමයක් බැවින් රටේ මහජනතාවට ආණ්ඩුවේ කටයුතු පිළිබඳව දැනගැනීමේ අයිතියක් තිබේ. දැනට මෙරට පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙමින් තිබෙන තොරතුරු දැනගැනීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට අනුව ලෝකයේ ගුණාත්මක බවින් ඉහළ නීති අතර හත්වෙනි ස්ථානයේ තිබීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳව නව අපේක්‍ෂා ඇති කරයි. යහ රාජ්‍ය පාලනය යන්න ඍජුවම තොරතුරු දැනගැනීමේ අයිතිය තුළින් උත්පාදනය වන්නකි. යහ රාජ්‍ය පාලනයේ මුරගලක් වන්නේ විවෘතභාවයයි. එමඟින් ආණ්ඩුවේ කටයුතු තක්සේරු කිරීමට පුරවැසියාට අවස්ථාව ලැබෙන අතර මැතිවරණයක් නොමැති කාලසීමාවේදී මහජන නියෝජිතයන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අවධානයෙන් සිටීමට මහජනතාවට ඉඩ සැලසේ.

ශ්‍රී ලංකාවේ යෝජිත තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව පසුගියදා බත්තරමුල්ලේදී පැවති විවෘත කතිකාවකදී නියෝජ්‍ය ඇමතිනී සුර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පැවසුවේ, රටේ පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන පිළිබඳව මෙන්ම මන්ත්‍රීවරු සහ දේශපාලඥයන් පිළිබඳවද මහජන විශ්වාසය බිඳවැටී ඇති බවයි. එමෙන්ම මහජන නියෝජිතයන් තම නිල රාජකාරි සහ වගකීම්වලින් බැහැරව රාජ්‍ය පාලනයේ විවිධ කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඔවුන් දෙදෙනාගේම අදහස වූයේ තොරතුරු දැනගැනීමේ නීතිය මගින් මෙම තත්ත්වය වෙනස් කිරීමේ ප්‍රබල අවස්ථාවක් පවතින බවයි.

මෙරට නීති සම්පාදනයේදී පොදුවේ සිදුවන ආකාරයටම තොරතුරු දැනගැනීමේ නීතියද ඉහළ සිට පහළට ගමන්කරන නාගරික ප්‍රභූ කේන්ද්‍රීය වූවක් වන අතර, ඒ පිළිබඳව මෙරට පොදු ජනතාව, ජනමාධ්‍ය මෙන්ම සිවිල් සමාජයද දක්වන්නේ උදාසීන ප්‍රතිචාරයක් බව පෙනේ. මහජන නියෝජිතයන්, ජනමාධ්‍ය හා සිවිල් සංවිධාන විසින් විවෘත රාජ්‍ය පාලනයක් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ මහජනයා තොරතුරුවලින් සන්නද්ධව සිටීමේ වැදගත්කම තේරුම් ගෙන නොසිටීම මෙන්ම මහජනතාව ‘‘තොරතුරු යන්න තේරුම් ගෙන නොසිටීමද මේ කෙරෙහි බලපා තිබේ.

තොරතුරු දැනගැනීමේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය

ශ්‍රී ලංකාවේ දැනට සාකච්ඡා වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු දැනගැනීමේ නීතිය ක්‍රියාත්මක වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන කොමිෂන් සභාවක් මගිනි. මෙම කොමිෂන් සභාවේ කටයුතු නීතිය සම්මත වී මාස 6ක් ඇතුළත ක්‍රියාවට නැංවිය යුතු අතර, ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දායකත්වය සපයයි. රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත ආයතන, සහ රාජ්‍ය කොටස් 25% ට වඩා තිබෙන ආයතන මෙම පනතේ විධිවිධානවලට යටත්වන අතර, මීට අදාළව දැනට තිබෙන නීති, අණපනත්, රෙගුලාසි සියල්ලටම ඉහළින් මෙම නීතිය ක්‍රියාත්මක වේ.

පනත මගින් ආවරණය වන ආයතනවල තොරතුරු නිලධාරියෙක් සිටියි. එම නිලධාරියා වෙතින් අදාළ තොරතුරු ඉල්ලා සිටිය හැකිය. එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ විට නිශ්චිත කාලසීමාවක් තුළදී අදාළ තොරතුරු ලබාදීමට එම නිලධාරියා බැඳී සිටී. තොරතුරු ඉල්ලන පුද්ගලයා එසේ තොරතුරු ඉල්ලීමට හේතුව ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර, ඒ වෙනුවෙන් යම් ගාස්තුවක් තොරතුරු ඉල්ලන පුද්ගලයා විසින් ගෙවිය යුතුය. තොරතුරු නිලධාරියා අදාළ තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් ඊට හේතු දැක්විය යුතු අතර, ඊට විරුද්ධව අභියාචනා අවස්ථා ගණනාවක් තොරතුරු ඉල්ලුම්කරුට තිබේ.

තොරතුරු දැනගැනීමේ නීතියේ සීමාවන් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්

මෙම පනතේ විධිවිධාන ක්‍රියාවට නැංවීම සඳහා පිහිටුවීමට නියමිත තොරතුරු කොමිෂන් සභාව පත්වීමේ විධිවිධාන මීට වඩා ප්‍රජාතන්ත්‍රීය සහ ස්වාධීන කිරීම අවශ්‍ය වේ. කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කිරීම සඳහා නාමයෝජනා කිරීමේ අවස්ථාව නීතිඥ සංගමයට සහ සිවිල් සංවිධානවලට ලබාදී තිබේ. ඔවුන් යෝජනා කරන නම් අතරින් සාමාජිකයන් තෝරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනි. මෙහිදී නම් යෝජනා කිරීමේ අවස්ථාව නීතිඥ සංගමය සහ සිවිල් සංවිධාන වැනි කොළඹ කේන්ද්‍රීය ප්‍රභූ සංවිධානවලට ලබාදෙනු වෙනුවට තොරතුරු දැනගැනීමේ මහජන ව්‍යාපාරයක් බිහිවීමට සලස්වා එවැනි ව්‍යාපාරයකට නාමයෝජනා කිරීමට ඉඩ සැලසීම කෙරෙහි අවධානය යොමුකළ හැකිය.

මෙම පනතේ දක්නට ලැබෙන තවත් ප්‍රබල දුර්වලතාවක් වන්නේ යම් තොරතුරු නිලධාරියෙකු තොරතුරු දීම ප්‍රතික්‍ෂේප කිරීම සහ විනය කඩකිරීම පිළිබඳව දඬුවම් දීමේ බලය තොරතුරු කොමිෂන් සභාවට නොමැති වීමයි. එවැනි වරදක් හඳුනාගත්විට කොමිෂන් සභාවට කළ හැක්කේ එම තොරතුරු නිලධාරියා අයිති ආයතනයේ ප්‍රධානියාට ඒ පිළිබඳව දැනුම්දීම පමණි. බොහෝවිට තොරතුරු නිලධාරියෙකු තොරතුරුදීම ප්‍රතික්‍ෂේප කරනු ලබන්නේ තම ආයතනයේ ප්‍රධානියාගේ අනුදැනුම ඇතිව යන්න ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සම්බන්ධ යථාර්ථායයි. ඒ අනුව තම උපදෙස් මත වගකීම පැහැර හරිනු ලැබූ තොරතුරු නිලධාරියෙකුට එරෙහිව එම ආයතන ප්‍රධානියා විසින් විනය ක්‍රියාමාර්ගයට යොමුවේ යැයි සිතිය නොහැකිය.

තොරතුරු දැනගැනීමේ නීතිය යටතේ තොරතුරු ලබානොදෙන ක්‍ෂේත්‍ර

01 ජාතික ආරක්‍ෂාවට, මහජන ආරක්‍ෂාවට, පුද්ගල ආරක්‍ෂාවට සහ ජාත්‍යන්තර සබඳතාවලට තර්ජනයක් විය හැකි තොරතුරු.

02 අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් හෝ සිදුවෙමින් පවතින අපරාධ පරීක්‍ෂණයක් පිළිබඳ තොරතුරු.

03 පුද්ගල පෞද්ගලිකත්වයට බාධා පමුණුවන තොරතුරු

04 රාජ්‍ය තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අකාර්යක්‍ෂමතාවට බලපාන තොරතුරු

05 ව්‍යාපාරික සහ වාණිජ රහස්‍යභාවයට බලපාන තොරතුරු

මෙම ක්‍ෂේත්‍ර සංවේදී ඒවා බැවින් ඒ පිළිබඳව සීමා පැනවීම පිළිගත හැකි වුවද, ඒ එක් එක් ශීර්ෂ යටතේ ලබාදෙන සහ ලබා නොදෙන තොරතුරු පටු සහ නිශ්චිත ලෙස දක්වා තිබීම අවශ්‍ය වේ. එසේ නොමැතිව මෙම කරුණු විවෘත අර්ථ දැක්වීම්වලට ඉඩ සලසා තිබුණහොත් ඕනෑම තොරතුරක් ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීමට ආවරණයක් ලෙස මෙම සීමාකිරීම් යොදාගැනීමට ඉඩ තිබේ. මෙම වර්ග කිරීම් ශීර්ෂ වශයෙන් නොව අන්තර්ගතය, ලිපි ලේඛන සුවිශේෂීව දක්වා තිබීම, තොරතුරු ලබානොදන කාල සීමාව දක්වා තිබීම අවශ්‍ය වන්නාක් මෙන්ම මෙම සීමාකිරීම් යාවත්කාලීන කිරීමට විධිවිධාන දක්වා තිබීමද වැදගත් වේ. යම් තොරතුරක් ලබානොදෙන බවට විධිවිධාන යොදන්නේ නම් එහි අරමුණ වියයුත්තේ එම තොරතුර ලබාදීමෙන් මහජනයාට වන යහපතට වඩා අයහපත වැඩි බව පැහැදිලිව පෙනීයාමයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නීතිය මගින් රාජ්‍ය ආයතන,
ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය කාර්යයන් ඉටුකරන පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධානද ඇතුළත්ව තිබීම නිසා නීතියේ ඵලදායීතාවය වැඩි වී තිබේ. මෙහිදී රාජ්‍ය අංශය යන්නට රජයේ කොටස් හිමිකාරිත්වය අවම වශයෙන් 25% ක් වශයෙන් දක්වා තිබීම 10% දක්වා අඩු කරන්නේ නම් එමගින් මෙම නීතිය මගින් ආවරණය කරන ක්‍ෂේත්‍ර පුළුල් කළ හැකිය. තොරතුරු දැනගැනීමේ නීතිය මගින් ජනමාධ්‍ය සම්බන්ධව විශේෂ විධිවිධාන යොදා නොතිබීම මෙහි ඇති තවත් දුර්වලතාවකි. ජනමාධ්‍ය නූතන සමාජයේ බලසම්පන්නම සමාජ ආයතනය බවට පත්ව තිබෙන අතර, එය පුද්ගල ජීවිතය, සමාජයේ, දේශපාලනයේ මානව සංහතියේ දිශානතිය තීරණය කරන ගාමක බලවේගය බවට පත්ව තිබේ. මේ නිසා ජනමාධ්‍ය හිමිකාරිත්වය සහ මාධ්‍ය අන්තර්ගතය සකස්වන ආකාරය පිළිබඳව විනිවිදභාවයක් ඇති කිරීම අවශ්‍ය වේ.

පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු මහජනතාවට ලබාගැනීමට ඉඩසලසන්නේද යන්න මතභේදයට තුඩුදෙන කරුණකි. දකුණු අප්‍රිකානු තොරතුරු දැනගැනීමේ නීතිය මගින් පෞද්ගලික අංශයද ආවරණය කර තිබේ. මේ ආකාරයට පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු පිළිබඳ විනිවිදභාවයක් ඇතිවන්නේ නම් එය ඉතාම ප්‍රශස්ත ප්‍රජාතන්තවාදී භාවිතයක් වශයෙන් හැඳින්විය හැකිය. ජාතික සහ බහුජාතික සමාගම් සහ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය අවසාන වශයෙන් මහජනතාවට බලපාන බැවින් එවැනි විවෘතභාවයන් තුළින් සමස්ත සමාජයේම විනිවිදභාවයක් ඇතිවේ. එහෙත් පෞද්ගලික සමාගම්වලට ඔවුන්ගේ වාණිජ සහ ව්‍යාපාරික රහස් රැකගැනීමට ඉඩ සැලසීම කාර්යක්‍ෂම වෙළෙඳ පොළ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය සාධකයකි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ යෝධ පිම්මක් වශයෙන් සැලකිය හැකි තොරතුරු දැනගැනීමේ නීතිය යථාර්ථයක් බවට පත්කර ගැනීම එතරම් පහසු කරුණක් නොවෙනු ඇත. ආවෘත අධිපතිවාදී සමාජයක සිට විවෘත සමාජයක් දක්වාත්, ආවෘත නිලධාරී කේන්ද්‍රීය රාජ්‍ය ආයතන ව්‍යුහයක සිට මහජන කේන්ද්‍රීය විනිවිදභාවයෙන් යුතු ආණ්ඩුකරණයට සංක්‍රමණය විම අප වැනි රටවල පහසු කරුණක් නොවේ. රටේ පරිපාලන සංස්කෘතිය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වගවීම සහිත සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීම වර්තමානයේ අප හමුවේ තිබෙන ප්‍රබල අභියෝගයකි. එය කල්ගතවන, වෙහෙසකර, කැපවීම් සහිත ව්‍යායාමයක්ය යන්න පොදුවේ පිළිගත යුතු කරුණකි.



'අද පුවත්පත' වෙබ් පිටුවෙන් උපුටා නැවත පළ කිරීමකි.




Share on Google Plus