DIG ලලිත් ජයසිංහගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම්.


පසුගිය වසරේ යාපනය පුංකුඩුතිව්හි දූෂණය කොට මරා දැමුණු විද්‍යා සිවලෝගනාදන් පාසැල් සිසුවියගේ ඝාතකයන්ට පොලිස් රැකවරණ සපයා දීම, අපරාධයක සාක්ෂි වසන් කිරීම, අපරාධකරුවන්ට පැනයාමට උදව් කිරීම යන චෝදනා යටතේ රහස් පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිත මඩකලපුව ප්‍රදේශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ විවිධ පුද්ගලයන් හා දේශපාලඥයන් ලවා නීතිපති දෙපාර්තමේන්තුවට අනවශ්‍ය පීඩනයක් එල්ල කරමින් බලපෑම් කරන බව නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වෙනුවෙන් බලපෑම් කරන දේශපාලඥයන් හා පුද්ගලයන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පවසා ඇත්තේ ‘දිගින් දිගටම මෙසේ පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගැනීම සිදුවුවහොත් පොලිස් නිලධාරීන්ට රජය කෙරෙහි විශ්වාසය බිදී ගොස් සමස්ථ පොලිස් සේවයම බිඳ වැටීමකට ලක්විය හැකි බැවින් මෙවන් කරුණු පොලිස් දෙපාර්තමේන්තුව තුල කෙරෙන විනය පරීක්ෂණයකින් විසඳා ගත යුතු බවයි.'

ඊට පිලිතුරු දී ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට විනය පරීක්ෂණ පැවැත්වීමට උපදෙස් දීම නීතිපතිවරයාගේ කාර්යක් නොවන බවයි. එමෙන්ම රටක වල් වැදුනු නීතිය හා යුක්තිය පසිදලීම සඳහා දූෂිත නිලධාරීන්ට දඬුවම් කිරීම කවර දුෂ්කර තත්වයක් යටතේ වුවද සිදුකළ යුතු බව ඔවුන් තවදුරටත් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත අනෙක් පුද්ගලයාවන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය තමිල් මාරන් මහතා පවසමින් සිටින්නේ ‘මෙය TNA පක්ෂය තමා දේශපාලනයට පැමිණීමට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයේ කොටසක් බවයි.

Share on Google Plus