ශ්‍රී ලංකාවේ වරාය හතරක් චීන මකර කටේ.


මෙරටට ආර්ථික වශයෙන් මෙන්ම ජාතික ආරක්ෂාව අතින් ද අතිශය වැදගත් වරාය පරිශ‍්‍රයන් හතරක් අත්පත්කර ගැනීම සඳහා චීන රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. මේ වන විටත් විකිණීමට තීරණය කර ඇති හොල්සිම් සිමෙන්ති සමාගම මිලදී ගැනීම හරහා මෙම වරාය ඉඩම් හතර අත්පත් කර ගැනීමට චීනය සූදානමින් පසුවේ.

චයිනා රිසෝසස් සමූහයේ චයිනා රිසෝසස් සිමෙන්ට් හෝල්ඩින්ස් ලිමිටඞ් (China Resources Cement Holdings Limited) සමාගම හරහා චීනය හොල්සිම් සමාගම මිලදී ගැනීමට මේ වන විට ලන්සුවක් තබා ඇත.

හොල්සිම් සමාගම විකුණා දැමීම වෙනුවෙන් එම සමාගමේ අපේක්ෂිත මුදල වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 180කට ආසන්න අගයක් වන නමුත් චීන සමාගම අපේක්ෂිත මිල මෙන් දෙගුණයක (360) ලන්සුවක් තබා ඇත.

ඒ අනුව චීනයේ සූදානම වී තිබෙන්නේ හොල්සිම් සමාගම සිය මෙහෙයුම් සිදු කරන කොළඹ, ත‍්‍රිකුණාමලය, ගාල්ල සහ හම්බන්තොට යන වරායවල බිම් කොටස් අත්පත් කර ගැනීම වන අතර පුත්තලම ප‍්‍රදේශයේ වන හොල්සිම් සමාගමේ අනෙක් විශාලම අංගණය ද මේ හරහා චීනයට නතුකර ගැනීමට අවස්ථාව සැලසෙයි.

මෙය සිදු වන්නේ මේ වන විටත් චීනය හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතුවලට එක්ව සිටින පසුබිමකය.

කලාපයටම තර්ජනයක් :

මේ අතර ශ‍්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වරාය හතරක් අත්පත්කර ගැනීමට කටයුතු කිරීම තම රටට සහ ශ‍්‍රී ලංකාවට පමණක් නොව සමස්ත කලාපයටම තර්ජනයක් බව පවසා මේ වන විට ඉන්දියාව චීනයේ මෙම උත්සාහය හෙළා දැක ඇති අතර ඊට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීම කෙරෙහි ද ඔවුන් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

එසේම චීනය මෙරට වරාය අත්පත්කර ගැනීමේ සූදානම පිළිබඳ එක්සත් ජනපදය ද දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වෙයි.

මේ පසුබිමේ හොල්සිම් සමාගම විකිණීම සම්බන්ධ කාරණය සහ ඒ වටා පැනනැගී ඇති උණුසුම් පසුබිම මේ වන විට ස්විට්සර්ලන්තය, චීනය, ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර සහ ශ‍්‍රී ලංකාව මුල් කරගත් රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදයක් පැනනැගීමේ අවදානමක් දක්වා ගමන් කිරීමේ තත්ත්වයක් මතුව ඇති අතර විදෙස් මාධ්‍ය ද මේ කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බවක් පෙනී යයි.

මේ අර්බුදයෙහි ආරම්භය සිදු වන්නේ හොල්සිම් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයක් තිබූ ස්වීඩනයේ ලෆාර්ජි හොල්සිම් සමාගම මේ කලාපයේ ව්‍යාපාරවලින් බැහැර වීමට ගත් තීරණය සමඟින්ය.

ඩුබායි මැරියට් අයිතිකරු :

මෙතෙක් මෙරට සිමෙන්ති වෙළෙඳපොළේ විශාලතම කොටස අත්පත් කරගෙන සිටි හොල්සිම් සමාගම විකිණීම දැනුම් දීමත් සමඟ එය මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වූ පළමු දේශීය ව්‍යවසායකයා වූයේ රාජපක්ෂ පවුලට අයත් බව කියන ඩුබායි මැරියට් හෝටලයේ අයිතිකරු ලෙස පෙනී සිටින මෙන්ම රාජපක්ෂ පවුලේ කළු සල්ලි කළමනාකරණය කරන බවට චෝදනා එල්ල වී ඇති නන්දන ලොකුවිතාන ය.

ඒ බව වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයකුට දැනගැනීමට ලැබී ඇති අතර එහි දී ඔහු රාජ්‍යතාන්ත‍්‍රික මැදිහත් වීමක් සිදුකර ජාත්‍යන්තර පිළිගත් සම්මුති අනුව ක‍්‍රියා කරන ලෙසත් අදාළ ගනුදෙනුව සිදු වුවහොත් මුදල් විශුද්ධිකරණය යටතේ ඒ ගැන ක‍්‍රියා කිරීමට සිදු විය හැකි බවත් හොල්සිම් සමාගමේ මවු රට වන ස්විට්සර්ලන්ත රජයට දන්වා ඇත.

ඒ අනුව එම මිලදී ගැනීමේ අවස්ථාව නන්දන ලොකුවිතානට අහිමිව ඇත.

චීන රජය වැඩිම ලන්සු තබා මේ ගනුදෙනුවට මැදිහත් වන්නේ ඒ පසුබිමේය.

අදහාගත නොහැකි ලන්සුව :

ඒ සමඟ ඉන්දියානු සමාගම් කිහිපයක් සහ ශ‍්‍රී ලංකා සමාගම් ද හොල්සිම් සමාගම මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ලන්සු තැබුණු නමුත් චීන සමාගම තැබූ අදහාගත නොහැකි ඉහළ ලන්සුව හමුවේ එම සමාගම්වල ලන්සු තැබීම් දුර්වලව තිබේ.

ඒ අනුව චීනයේ මෙම ඉහළ ලන්සුව කියා පාන්නේ හොල්සිම් සමාගම මිලදී ගැනීම හරහා කෙසේ හෝ එම භූමි ප‍්‍රදේශවල අයිතිය ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වන බවය.

චීනයේ මෙම හැසිරීම රටක් ලෙස පමණක් නොව ගෝලීය සාමය රැක ගැනීම වෙනුවෙන් ද පමණ ඉක්මවා ක‍්‍රියා කිරීමක් බව මේ පිළිබඳ අදහස් දක්වන විචාරකයන්ගේ මතය වී ඇත.

එසේම හම්බන්තොට, ත‍්‍රිකුණාමලය, කොළඹ, ගාල්ල, යාපනය සහ පුත්තලම යන දිස්ත‍්‍රික්ක ආශ‍්‍රිතව වරාය බිම් චීනය සතුවීම ඉන්දියාව කෙසේවත් නොඉවසනු ඇති බවත් ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව අවශ්‍ය ක‍්‍රියාමාර්ග නිසි ලෙස නොගතහොත් නුදුරේදීම බරපතළ වන්දියක් ඒ වෙනුවෙන් ගෙවීමට සිදු වීමේ අවදානම ද ඔවුන් පෙන්වා දෙයි.

හැරී ජයවර්ධන :

මේ අතර හොල්සිම් සමාගමට දෙවන වැඩි වටිනාකමක් සහිත ලන්සුව ඉදිරිපත් කර තිබෙන්නේ මෙරට සිටින අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධනය.

හැරී ජයවර්ධන මහතාගේ දියණියක් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතාගේ ක්ලින්ටන් පවුන්ඩේෂන් කාර්යමණ්ඩලයේ සේවය කරන අතර ඔහු එම පවුලේ හිතවතකු ද වෙයි.

මේ සඳහා හැරී ජයවර්ධන කරනු ලැබූ ලන්සු තැබීම සිදුව තිබෙන්නේ දකුණු ආසියාවට අදාළ ඇමෙරිකානු බල දේශපාලන මූලෝපායන්ට සහාය දැක්වීමක් ලෙස බවට දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

හම්බන්තොට, මාගම්පුර වරායේ ණය ගෙවා ගැනීමට නොහැකිව සිටිය දී චීනය තම ණයට හිලව් ලෙස වරායේ මෙහෙයුම් කටයුතු පවරන ලෙස කළ ඉල්ලීම ඉටු කරන්නට රාජපක්ෂ ආණ්ඩුව සූදානම් වූ විට ඊට ද බරපතළ විරෝධයක් එල්ල කළ ඉන්දියාව අවසානයේ රාජපක්ෂ විරෝධී ස්ථාවරයක සිට කටයුතු කරන්නට වූයේ එම පාලනයේ වූ චීන හිතවාදී ප‍්‍රතිපත්තිය නොරිස්සූ නිසාය.

'වොයිස් ඔෆ් ඇමෙරිකා' :

එසේම එක්සත් ජනපදයට අයත් ‘වොයිස් ඔෆ් ඇමෙරිකා’ සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයට ඉරණවිල සිට හම්බන්තොට ප‍්‍රදේශය ආවරණය කළ නොහැකි බැවින් ඔවුන් චීනය හම්බන්තොට වරාය අත්පත් කරගැනීමට ගත් උත්සාහයට විරෝධය පළ කර තිබිණි.

ඒ අනුව ඉන්දියාව ඉතා කඩිනමින් සහ එක්සත් ජනපදය අවස්ථානුකූලවත් මේ වෙත විරෝධය දක්වන්නට කටයුතු කරන අතර එය මෙරටට ඉතා අවාසිසහගත බව විචාරක මතය වී ඇත.

මෙහි දී ඔවුන් විශේෂ කොට පෙන්වා දෙන්නේ මෙය හේතුවෙන් ඉන්දීය ශ‍්‍රී ලංකා වෙළෙඳ සබඳතා අර්බුදයට යා හැකි බවත් ඒ තුළ ශ‍්‍රී ලංකාවට වඩාත් අවාසිසහගත කොන්දේසි වෙත එකඟතා ඇතිකර ගන්නට සිදු වනු ඇති බවත්ය.

වෙළෙඳ අමාත්‍යාංශයේ විරෝධය :

මේ වන විටත් කර්මාන්ත සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා මෙම විකිණීම සම්බන්ධව හොල්සිම් සමාගමට ලිඛිතව විරෝධය පළ කර ඇත.

ඒ සිමෙන්ති නිෂ්පාදනය සඳහා ශ‍්‍රී ලංකා රජය සමඟ ගිවිසුමකට යටත්ව සිටින පසුබිමේ තම අමාත්‍යාංශයේ අනුදැනුමෙන් තොරව සීමාසහිත හොල්සිම් ලංකා සමාගමේ වත්කම් විකිණීමට අයිතියක් නැති බව අවධාරණය කරමින්ය.

එහෙත් අදාළ සමාගම ඊට තවමත් ප‍්‍රතිචාර දක්වා නොමැති අතර ඒ හමුවේ මෙරට සහ ස්විට්සර්ලන්තය අතර ද සබඳතා පළුදු වීමේ අවදානමක් පවතී.

(සත්හඬ)

Share on Google Plus