මෛත‍්‍රීට - රනිල්ට ඇතුළෙන් බලපෑම්.


මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් පැනනැගී තිබෙන ගැටලූකාරිත්වය මත සම්මුතික ආණ්ඩුව බිඳවැටීමේ දැඩි අවදානමක් මතුව ඇති හෙයින් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පාර්ශ්ව දෙකේ ආණ්ඩු බලය සම්බන්ධයෙන් වහාම නව අවබෝධතා ගිවිසුමකට යා යුතු බව දෙපාර්ශ්වයේම ජ්‍යේෂ්ඨ නායකයන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අවධාරණය කර ඇත.

වත්මන් සම්මුතික ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් ශ‍්‍රීලනිපයත් එජාපයත් පසුගිය වසරේ අගෝස්තු 21 වන දින අවබෝධතා ගිවිසුමකින් බැඳුණු නමුත් එහි දී දෙපාර්ශ්වයේ සීමා ලකුණු කර ගැනීමක් සිදු නොවීය. රටේ ආර්ථිකය සම්බන්ධ වගකීම් සියල්ල එජාපය වෙත ජනාධිපතිවරයා විසින් පවරා දෙනු ලැබූව ද ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාට ඇති බලයේ සීමාවන් ගැන කිසිදු නිශ්චිත සාකච්ඡුාවක් හෝ සිදු වූයේ නැත. කට වචනයෙන් වගකීම් පැවැරීමක් පමණක් සිදුව ඇත. මේ හේතුවෙන් විටින් විට ආර්ථිකය සම්බන්ධයෙන් එජාපය ගන්නා තීන්දු තීරණවලට එරෙහිව ජනාධිපතිවරයා හා එම පාර්ශ්වයේ මැදිහත් වීම ආණ්ඩුව තුළ අර්බුදකාරිත්වයක් මතු කරලීය.

පසුගිය දා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් වන ගැටලූවට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම ද මේ වන විට නීතිමය සහ දේශපාලනික ගැටුම්කාරිත්වයක් මතු වීමට ද හේතු වී තිබේ.

පසුගිය 30 වන දින මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දැරූ එම තනතුරේ කාලය අවසන් විය. මහ බැංකු අධිපතිවරයා පත් කෙරෙන්නේ වසර 6කට වරක්ය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා පසුගිය වසර එකහමාරක පමණ කාලයක් දැරුවේ හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල්ගේ ඉතිරි ධුර කාලය යි.

ඒ අනුව ඔහුව නැවත පත් කිරීම හෝ වෙනත් අයකු පත් කිරීම හෝ සිදු විය යුතුව තිබිණි. එමෙන්ම ඒ ධුරය අවසන් වන දින එම පත් කිරීම සිදු කළ යුතු බවට නියමයක් ද නොමැත. පසුගිය වසරේ ජනවාරි 08 වන වන දින කබ්රාල් මහතා ධුරයෙන් ඉවත් වුව ද මහේන්ද්‍රන් මහතා පත් කෙරුණේ ඊට දින පහකට පසුවය. කෙසේ නමුත් ජනාධිපතිවරයා පසුගිය 29 වන දින උදෑසන ගිරාඳුරුකෝට්ටේහි පැවැති උත්සවයක දී පැවසුවේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා විශ‍්‍රාම ගත් බවත් තව පැය කිහිපයකින් නව මහ බැංකු අධිපතිවරයාව පත් කරන බවත්ය. ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ඒ වන විටත් මහ බැංකු අධිපතිවරයා ලෙස මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ පත්වීමේ ලිපියට ජනාධිපතිවරයා අත්සන් තබා තිබුණු බවය. එදින ජනාධිපතිවරයා සවස 3.30 ට පමණ මහ බැංකුවට ගියේ අදාළ පත් වීමේ ලිපිය වීරසිංහ මහතාට ලබා දීමටය. එහෙත් මේ ගැන කිසිදු දැනුම් දීමක් විෂය භාර ඇමැති වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට, මුදල් ඇමැති රවී කරුණානායක මහතාට හෝ එජාපයේ වගකීම් උසුලන කිසිවකුට හෝ පවසා නොතිබිණි.

කෙසේ නමුත් පෙර දිනයන් හි දී අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉවත් කර වීරසිංහ මහතාව පත් කළ යුතු බවට දිගින් දිගටම ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇති ඊබට් සිල්වා සහ අත්තනායක යන මහ බැංකුවේ ඉහළ නිලධාරීන් දෙදෙනා සහ නන්දලාල් වීරසිංහ මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සමීපතම නිලධාරීන් බවත් එම කාල සීමාව තුළ වූ හෙජින් ගනුදෙනුව, සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ ගනුදෙනුව ඇතුළු අක‍්‍රමිකතා රැසකට ඔවුන් සම්බන්ධ බවත් අගමැති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එමෙන්ම නව මහ බැංකු අධිපතිවරයා ලෙස නන්දලාල් වීරසිංහව පත් කළ යුතු බවට ජනාධිපතිවරයාව නොමඟ යවා බලපෑම් කළ පුද්ගලයන් අතර මාධ්‍ය හිමිකරුවකු මෙන්ම ජනාධිපති කාර්යාලයේ නීතිඥවරයකු ද සිටින බවත් එම ආරංචි මාර්ග තහවුරු කරයි. මේ සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් ලබන සතිය තුළ දී අගමැතිවරයා විසින් සිදු කිරීමට නියමිත බවත් දැන ගැනීමට තිබේ. එමෙන්ම ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මත වෙනස් නොවේ නම් ඒ සඳහා චරිත රත්වත්තේ මහතා නම් කරන ලෙස අගමැතිවරයා පසුගිය 28 වන දින රාත‍්‍රියේ පැවති සාකච්ඡාවක දී ඉල්ලා සිටිය බවය. ඊට ජනාධිපතිවරයා එකඟ වී නැත.

කෙසේ නමුත් අගමැතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසුව නව මහ බැංකු අධිපතිවරයා නම් කිරීම ජනාධිපතිවරයා විසින් කල් දමනු ලැබීය. අනතුරුව විනාඩි කිහිපයක් මහ බැංකුවේ අනෙකුත් ප‍්‍රශ්න කිහිපයක් ගැන විමසා ජනාධිපතිවරයා ආපසු ගොස් ඇත. පත‍්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන තුරුත් නව මහ බැංකු අධිපතිවරයකු පත් කර තිබුණේ නැත.

මේ අතර අගමැති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ යම් ලෙසකින් හෝ එදින ජනාධිපතිවරයා නව මහ බැංකු අධිපති ලෙස කිසිවකු හෝ නම් කළේ නම් එය නීති විරෝධී කටයුත්තක් වන බවය. මන්ද, එම ධුරය සඳහා ජනාධිපතිවරයාට කෙනෙකු පත් කළ හැක්කේ මුදල් ඇමැතිවරයාගේ අනුමැතිය යටතේ පමණය. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක මුදල් පනත අනුව එසේ විය යුතුය. වර්තමානයේ මහ බැංකුව අගමැතිවරයා යටතට ගැසට් නිවේදනයක් මඟින් පවරාගෙන තිබුණ ද රටේ නීතිය අනුව මහ බැංකු අධිපතිවරයා පත් කිරීමට අනිවාර්යයෙන්ම මුදල් ඇමැතිගේ අනුමැතිය අවශ්‍යය. ජනාධිපතිවරයා හෝ මේ මෙහෙයුම පසුපස සිටි කිසිවකුත් මේ බව නොදැන කටයුතු කර ඇති බව පැහැදිලිය.

එමෙන්ම ජනාධිපතිවරයා හදිසියේම මහ බැංකුවට පිවිසෙන අවස්ථාවේ දී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ගොඩනැගිල්ලේම නව වන මහලේ එම අමාත්‍යාංශ කාර්යාලයේ කටයුතු කරමින් සිටිය ද රජයේ ධුරාවලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී පිළිගත් සම්ප‍්‍රදාය වන්නේ අදාළ අමාත්‍යාංශයකට පැමිණෙන විට එම ඇමැතිවරයා දැනුවත් කර පැමිණීමය. එය විධායක ජනාධිපතිවරයා වුව අනුගමනය කළ යුතු පිළිවෙතකි. එහෙත් මෙහි දී ජනාධිපතිවරයා විසින් එය උල්ලංඝනය කර තිබේ. මෙය ‘ධුරාවලී සාහසිකත්වය’ ලෙස අර්ථ දක්වනු ලබන බව අගමැති කාර්යාල ප‍්‍රකාශකයෙක් පැවසීය.

- සුභාෂ් ජයවර්ධන
SathHanda

Share on Google Plus