මාධ්‍ය ප්‍රහාර වලට දේශපාලනඥයන් සම්බන්ධයි.


පසුගිය දිනවල මාධ්‍යවේදීන් දෙදෙනකුට එල්ල වූ ප්‍රහාරවලට ආණ්ඩුවේ සම්බන්ධයක් නැතත් එම ප්‍රහාරවලට ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධ බව පෙනෙන්නට ඇතැයි ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි.

''ඒක ප්‍රශ්නයක්. අපි මේවා බරපතළ සිදුවීම් ලෙස භාර ගෙන ඊට මැදිහත් වෙනවා'' නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියි.

ඔහු එම ප්‍රකාශය කළේ සත්හඬ පුවත්පතේ විශේෂාංග කර්තෘ දයා නෙත්තසිංහට සහ මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් බීබීසී සංදේශය විමසූ අවස්ථාවේදී.

මාධ්‍යවේදී දයා නෙත්තසිංහට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

''කරන ලද හිංසනය විමර්ශනය කොට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි විශ්වාස කරනවා'' ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර දැඩි විවේචනයට ලක් කළ වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයන් මාධ්‍ය නිදහස සුරකින බවට බොහෝ අවස්ථාවල ප්‍රතිඥා දී තිබේ.

එවැනි තත්වයක් යටතේ නැවතත් මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වීමේ ප්‍රවණතාවක් දක්නට ඇත්දැයි සංදේශය නියෝජ්‍ය ඇමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ පරාජයට පත් ඇතැම් බලවේගවල ක්‍රියාකාරිත්වය තවමත් අඩු වී නැති බවයි.

-BBC

Share on Google Plus