රෝහිතගේ මල්ලිට යහපාලනයෙන් අතහිත.


මහින්ද පිලේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බාල සහෝදරයකු වන සමිත් අබේගුණවර්ධන විසින් ආරම්භ කර ඇති ගුවන් යානා 05ක පහසුකම් සහිත ෆ්ලයි සදර්න් (Fly Southern) නම් ගුවන් පුහුණු පාසලට අනුමැතිය දීමට සිවිල් ගුවන් සේවා අධක්ෂ ජෙනරාල්වරයා විසින් පසුගියදා  කටයුතු කර තිබේ.

මෙය ආරම්භ කර ඇත්තේ හිටපු අධීක්ෂණ ඇමති සජින් වාස් ගුණවර්ධන මහතා සතුව තිබී පසුව වසා දමන ලද 'කොස්මොස් එවියේෂන්' ගුවන් පුහුණු පාසල පවත්වා ගෙන ගිය රත්මලාන ගුවන්තොටුපොළේ ගුවන් යානා අංගණයේම බව වෙත වාර්තා වේ.

මේ අතර, 'දූෂණ විරෝධී හඬ' සංවිධානය පවසන්නේ, කොස්මෝස් එවියේෂන් පෞද්ගලික සමාගමේ අයිතිකරුවන විදේශ අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, එම සමාගම පවත්වාගෙන ගිය රත්මලාන ගුවන්තොටුපොළේ ගුවන් යානා අංගණයට ගෙවිය යුතු රුපියල් හාර ලක්ෂ පහළොස් දහසක (රු. 415,000) මාසික කුලී මුදල 2011 වසරේ සිට මේ දක්වා ගෙවා නැති බවයි. ඒ අනුව කෝටි දෙකකට අධික මුදලක්  සජින් වාස් ගුණවර්ධනට හිමි කොස්මෝස් එවියේෂන් පෞද්ගලික සමාගමෙන් රජයට අය විය යුතුව තිබේ.

මෙම වංචාව පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය, අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ලට අනුව ගුවන් පුහුණුව සඳහා මෙම සමාගම ඇමෙරිකාවේ සෙස්නා එයාර් ක්‍රාෆ්ට් සමාගමෙන් ගුවන් යානා 4ක් මිලදී ගෙන ඇත්තේ ලංකා බැංකුව හරහා බවත් එම ගනුදෙනුව සිදුකෙරුණු ආකාරය ද ගැටලු සහගත බව ද සඳහන් වේ. 

කොස්මෝස් එවියේෂන් පෞද්ගලික සමාගම 2009දී ආරම්භ කරන ලද්දකි.

Share on Google Plus