ඇමැතියෙක් ලක්ෂ 400ක පගාවක් ඉල්ලලා - එන ආයෝජනත් නවතී ද?


'සයුරි මෝටර්ස් කෝපරේෂන්' නමින් මෙරට මෝටර් රථ කොටස් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් අරඹන්නට සූදානම් වූ දේශීය ව්‍යවසායකයකුගෙන් ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයකු ලක්ෂ 400 ක කොමිස් මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙරට කැබිනට් බලතල බෙදී ගොස් ඇති ආකාරය අනුව මෝටර් රථ කොටස් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය, ප‍්‍රවාහන අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යාංශ තුනක අවසරය ලබා ගත යුතුව ඇත.

ඒ හැර සමාගමට මෙරට නිෂ්පාදන කටයුතු සිදුකරන්නට සහ වෙළඳපොළට ප‍්‍රවේශ වීම සඳහා අදාළ නෛතික වලංගු බව හිමි වෙන්නේ නැත.

අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ කර්මාන්ත ශාලාව ඇරඹීම සඳහා ඉදිරිපත්ව ඇත්තේ සමන් ප‍්‍රියංකර (ජපන් සමන්) ලෙස ප‍්‍රකට රථවාහන ක්ෂේත‍්‍රයේ ව්‍යාපාර සිදු කරන අයෙකුය.

ඒ අවස්ථාවේ දී ඉදිරිපත් වූ අමාත්‍යවරයා, ආයෝජකයා පසුගිය ආණ්ඩුවේ හිතෛෂීයකු බවත් එහෙයින් ඉල්ලූ‍ම් කර ඇති ආයෝජන අවස්ථාව ලබා දීමට නම් තමන්ට ලක්ෂ 300ක් සහ ඉතිරි ලක්ෂ 100 අනෙක් අමාත්‍යාංශවල නිර්දේශය ලබා ගැනීම වෙනුවෙන් වැය කළ යුතු බව සඳහන් කර කොමිස් මුදල් යෝජනාව සිදුකර ඇත.

ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් :

මෙහි දී අමාත්‍යවරයාගේ අල්ලස් යෝජනාව ප‍්‍රතික්ෂේප කර ඇති අතර සමන් ප්‍රියංකර මහතා, සිය ආයෝජනය වෙනුවෙන් මේ වන විට ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අවසරය පතා ඇත.

ඒ වෙනුවෙන් අවශ්‍ය පරිසාධන ඇති බැවින් ඔහුට ආයෝජන අවස්ථාව හිමිවිය යුතුව ඇත.

එහෙත් අප වෙත වාර්තා වන ආකාරයට අල්ලස් යෝජනාව සිදු කළ අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයකු වන හෙයින් මෙකී ආයෝජන අවස්ථාව අහිමි කරලීමේ මෙහෙයුමක් ද දියත්ව පවතී.

මේ වන විටත් මෙරට ආර්ථිකය ඉතා දුෂ්කර මට්ටමක ඇති අතර එහි අභිවෘද්ධිය වෙනුවෙන් නව ආයෝජන අත්‍යවශ්‍යව ඇත.

ජපන් සමන් හරහා වත්මන් ආණ්ඩුවට ඉදිරිපත් වී ඇති මෙම ආයෝජනයේ ආරම්භක වටිනාකම ඩොලර් මිලියන 7.8ක් වන අතර පළමු අවස්ථාවේදීම ඒ හරහා රැකියා 200 ක් ලබා දීමට අවස්ථාව ඇත.

-SLM

Share on Google Plus