ශ්‍රී ලංකන් 3ක් පකිස්ථානයට - මත්තල චීනයට.


දැනට අධික ලෙස පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු යානා 3ක්  පකිස්ථානයට ලබාදීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

බදු පදනම මත එම යානා  ලබාදෙන බවත්, පළමු අදියර යටතේ එක් යානයක්ද අනතුරුව ඉතිරි යානාද ලබාදීමට පියවර ගන්නා බවත්, අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේය.

මෙලෙස ලබාදෙන යානාවල සේවය කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය බවත්, පළමුව ලබාදෙන යානය ලන්ඩන් සහ ලාහෝර් අතර ගුවන් ගමන් සිදුකිරීමට නියමිත බවත්, අමාත්‍යවරයා එහිදී පැවසීය.

එසේම මත්තල ගුවන් තොටුපළේ කළමනාකරණ කටයුතු චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බවත්, ඒ අනූව මත්තල මෙහෙයුම් කටයුතු ද එකී සමාගමට පැවරෙන බවත්, ඔහු කීවේය.

ඒ අනූව මත්තල ගුවන්‍ තොටුපළේ ණය පියවීම ඇතුළු කටයුතු අදාළ සමාගමට පැවරෙන බවත්, පැවසූ අමාත්‍යවරයා දැනට ඉන් ලැබෙන්නේ මසකට රුපියල් 16,000ක ආදායමක් පමණක් බවද පෙන්වාදුන්නේය.

මෙම වාතාවරණය යටතේ තවදුරටත් එය පවත්වාගෙන යාම අසීරු බවද,  දැනට ශ්‍රී ලංකාව සතුව ගුවන් යානා 20ක්, ගුවන් නියමුවන් 300ක් සිටින බවද, මීට අමතරව සිටින සියලු කාර්ය මණ්ඩල නඩත්තුවට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus