2500 නොලැබුණු අයට සුභ ආරංචියක්.


රජය විසින් පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කරන ලද රුපියල් 2,500යේ වැටුප් වැඩි වීම මෙතෙක් ලබා දීමට කටයුතු කර නොමැති ආයතනවලට වහාම නඩු පැවරීමට කටයුතු කරන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය. අන්තර් සමාගම් සේවක සංගමයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඉකුත් සවස (ජුලි 26) කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ තීරණය ගනු ලැබීය. අයවැය සහන දීමනා පනත ක්‍රියාත්මක කිරීමේදී වර්තමානයේ මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී අමාත්‍යවරයාට කරුණු දැක්වූහ. විශේෂයෙන් බොහෝ පෞද්ගලික අංශයේ ආයතන සහ හාම්පුතුන් මෙම පනතේ යම් විධි විධානවල අඩු පාඩු ගැන කියමින් කල් මරමින් සිටින බවට වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී චෝදනා කළහ.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමැතිවරයා, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2,500කින් වැඩි කිරීමට අදාළ 2016 අංක 4 දරන අයවැය සහන දීමනාව පනත දැන් අපේ රටේ නීතියකි. පසුගිය මාර්තු 23 වෙනිදා සිට මේ පනත ක්‍රියාත්මකයි. දැන් මාස 4ක් ගත වෙලා. අපි මේ පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධාරීන් පුහුණු කරලා තියෙන්නේ. අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා. පනත නීතිගත වුනත් තවමත් බොහෝ තැන්වල මේ වටුප් වැඩි වීම නිසිලෙස ක්‍රියාත්මක නොවෙන බවට දිනපතා අපිට පැමිණිලි එනවා. ඒ සම්බන්ධව දැන් විමර්ශනයන් කෙරෙනවා. අපි ප්‍රමාණවත් කාලයක් දුන්නා. දැන් තව දුරටත් බලා සිටිය යුතු නෑ. පනතේ විධි විධාන අනුව වහාම නඩු පවරන්න.

වැටුප් වර්ධක සහ වැටුප් වැඩි කිරීම කියන්නේ කරුණු දෙකකි. වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධක කොහොමත් ගෙවිය යුතුයි. ඒ සමබන්ධව පනතේ බොහාම පැහැදිලිව අපි සඳහන් කර තිබෙනවා.මේ අයවැය සහන දීමනාව අනුව වැඩිවු රුපියල් 2,500ත්, 2005 වසරේ මෙවැනිම දීමනාවක් ලෙස ලබා දුන් රුපියල් 1,000 ත් සේවකයන්ට ලබා දෙන වැටුප් විස්තර පත්‍රිකාවේ පැහැදිලිව සටහන් කර ගෙවිය යුතුයි. අපේ නිලධාරීන්ට මේ පිළිබඳ අපි අවශ්‍ය දැනුවත් කිරීම් කරලා තියෙන්නේ ඔවුන් සම්බන්ධව චෝදනා තියෙනවා නම් ඒ සම්බන්ධවත් අපි අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම මේ පඩි වැඩි වීම සම්බන්ධව පවතින සියලුම ගැටලු කම්කරු දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති කමිටුව වෙත ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලනවා. මෙම වැටුප් වැඩි වීම සහ පනතට අදාළ නීතිමය තත්ත්වය සරලව පැහැදිලි කරමින් දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවක් මුද්‍රණය කර සියලු පාර්ශවයන් අතර බෙදා හැරීමට කටයුතු කරන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී ඇත.

Share on Google Plus