අර්ජුන්ගේ ඇඳුම් සහ ඇඳුම් නැති විමල්.


බලය අහිමි වීමේ වියරුවෙන් පෙළෙන විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය දා මහා හෙළිදරව්වක් කරමින් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ වියදම් ලැයිස්තුවක් මාධ්‍යයට නිකුත් කර තිබිණි. දෙකට දෙක කැපුණු විට බිංදුව වන ගණිතයෙන් හෝ විමල් අමාරුවෙන් වියදම් මුදල් බෙදා දිනකට ගිය වියදම පවා ගණනය කර තිබිණි. ආහාර පාන, ප්‍රවාහන සහ ඇඳුම් වෙනුවෙන් පවා කළ වියදම් එහි දක්වා තිබිණි. 

අර්ජුන් මහේන්ද්‍රන් යනු සිංගප්පූරුවේ පුරවැසිභාවය හිමි පෞද්ගලික ධනය කළමනාකරණය කරනා වෘත්තීය බැංකුකරුවෙකි. ලංකාවේ මහබැංකු අධිපති වීමට පෙර ඔහු ඉපයූ ධනයක් ඔහුට තිබේ. ඔහුගේ ජීවන රටාවන් හැඩගැසී ඇත්තේද එම ධනයට අදාලව ය. මහ බැංකු අධිපතිගේ ඇඳුම් ගැන කතා කරන විට විමල් වීරවංශ සිටින්නේ ඇඳුම් ඇඳගෙන ද යන ප්‍රශ්නයකුත් අපට මතුවේ. මන්දයත් විමල් වීරවංශගේ අධිමිල ඇඳුම් පිළිබඳව කතාව ඇදුණේ ඔහු ජවිපෙ සාමාජිකයකුව සිටි කාලයේදීම ය. මන්ත්‍රී වැටුපත් පක්ෂයට පරිත්‍යාග කරන සමයේ ම කොමියුනිකේශන් කඩයක් පමණක් වත්කම ව තිබූ වීරවංශට රුපියල් 40,000හේ කමිස ඇඳීමට හැකියාව තිබිණි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටීන් ලැගාඩ්, එංගලන්ත මහබැංකු අධිපති කැනේඩියානු ජාතික මාක් කානි වැන්නන් හමුවීමට යන විට අර්ජුන් මහේන්ද්‍රන්ට පිටකොටුවේ පදිකවේදිකාවෙන් මිලදී ගන්නා ඇඳුමක් නොගැලපෙන බව ඕනෑම කෙනෙකුට වැටහේ. වියදම් තීරණය වන්නේ අදාල තනතුර සහ ඔහු එහි ඉටු කරන සේවය අනුවය. අනෙක් අතට අර්ජුන් මහේන්ද්‍රන්ට මෙසේ වියදම් කරන්නට මුදල් ඉපයීම සඳහා ලංකාවේ මහබැංකු අධිපතිකමක් වුවමනා නොමැති බවත් ඔහුගේ වෘත්තීයමය ස්වභාවය බැලූ විට හොඳින්ම පෙනේ. 

අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකුවෙන් හිමිවන වැටුප රුපියල් 70,000කි. එය ඔහු ප්‍රීතිපුර අනාථ නිවාසයට පරිත්‍යාග කරයි. 

ලංකාවේ ආර්ථිකය රාජපක්ෂ ඩ්‍රැකියුලාවන් විසින් උරා බී හපකළ පසුව දැනට එය නඩත්තු කෙරෙන්නේ ඉතාම අසීරුවෙනි. ඩොලරය ඉහළ යාම සහ බදු වැඩිවීම් සිදුවන්නේ එම සාපයේ ගෙවීමක් ලෙසටය. දෙවසරක් ඉතිරිව තිබියදීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේද ආර්ථිකයෙහි කඩා වැටීම ජනතාවට දැනෙන්නට පෙර යළි බලය තහවුරු කරගැනීමේ වුවමනාව නිසාය. දැනට රටේ ඇති ආර්ථික අර්බුදයට අර්ජුන් මහේන්ද්‍රන්ව පෙන්නා මිලියන් ටෝක්ස් දෙන විමල් වීරවංසලා ද එදා එම පාපයට වගකිව යුතුවූ අතර සහ ඉන් මේසය පල්ලේ වැටෙන දේ හෝ කඩාවඩා ගත් පුද්ගලයකු ලෙස අද ඔහු මේ කරමින් සිටින්නේ දෙකයි පනහේ දේශපාලනයක් ය. නොඑසේ නම් ගැලරිය පිනවීමේ රිලා නැටුම් දේශපාලනයක් ය. මහ බැකුවක් කළමනාකරණය කිරීම පහසු කටයුත්තක් නොවේ. අර්ජුන් මහේන්ද්‍රන් මේ මොහොතේ යෙදී සිටින්නේ එම තීරණාත්මක කාර්යයෙහිය. 



මේ කතාව අගටම ඈඳන්නට පැරණි කතාවක්ද සිහියට නැඟේ. චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණියගේ ආණ්ඩු සමයෙහි අනුර බණ්ඩාරනායක මහතා වරක් එවකට විදේශ ඇමතිවරයාව සිටි ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ හෝටල් බිලක් පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේය. එය ලන්ඩනයේ සුප්‍රකට ඩෝචෙස්ටර් හෝටලයේ පවුම් දෙදහස් ගණනක බිලකි. අනුර බණ්ඩාරනායක මහතා උද්වේගකර ලෙස මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී කදිරගාමර් මහතා පැවසුවේ තමා එම ඇමති තනතුර සොයා නොගිය බවත් ඇමති තනතුර තමාව සොයා පැමිණි බවත්ය. තනතුර නොතිබුණත් වෙනදාටත් තමන් ලන්ඩනයට ගිය විට නතර වන්නේ ඩෝචෙස්ටර් හෝටලයේ ම බවත් ඔහු ප්‍රකාශ කලේය. 

වීරවංශට දැන් ඇත්තේ හිතේ හැටියට පරිහරණය කරන්නට තමන්ට බලය නැති හිතේ අමාරුවය. වලිගය ගිනිගත් හනුමා මෙන් මේ දඟලන්නේ ඒ වෛරය පිටකරගන්නටය. එතැනදී අර්ජුන් මහේන්ද්‍රන් පිටකොටුවේ ඇඳුමක් ඇඳගෙන ත්‍රීරෝද රියකින් වැඩට ආවත් වීරවංශට කියන්න මොකක් හෝ කතාවක් තියෙනවා සිකුරුය. 

Share on Google Plus