නවකවද දුන්නොත්, අන්තර්ජාලයට කියන්න.


විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතන තුළදී නවකවදයට ලක්වන සිසුසිසුවියන්ට ඒ සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ (online) පැමිණිලි කිරීම සඳහා අවශ්‍යය පහසුකම් සැලසීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සැලැසුම්කර තිබේ.

මෙම පැමිණිලි විමර්ශනය සඳහා විශ්වවිද්‍යාලයට පරිභාහිරව වෙනම ස්වාධීන ආයතනයක් පිහිටුවන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමානුෂික අන්දමින් විශ්වවිද්‍යාල හා උසස් අධයාපන ආයතනතුළදී නවක වදයට ලක්වන සිසුසිසුවියන් අනන්‍යතාව හෙළිවනු ඇතැයි බියෙන් ඒ සම්බන්ධව පොලිසියට හෝ විශ්වවිද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කිරීමට උනන්දු නොවන ප්‍රවනතාවක් පවතින බවත් ඒ සම්බන්ධ විමර්ශන සිදුකිරීමට ඇති බාදාව මඟහැරවීම පිණිස මෙම නව ක්‍රමය හඳුන්වාදෙන බවත් ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් පෙරේදා (14) ඇමැතිවරයා මේ බව කීය.

ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතන 25000 කට ආසන්න සංඛ්‍යාවක දැඩිව පැවැති නවකවද සිද්ධීන් පාලනය කිරීම සඳහා මෙම ක්‍රමය එරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඔස්සේ හඳුන්වා දීමෙන් පසු විශාල ලෙස නවකවදය අඩු වී තිබෙන බවද ඒ මහතා කීය.

මෙම නව ක්‍රමය වසර අවසානයේ විශ්වවිද්‍යාල සඳහා නවක සිසුන් බඳවා ගන්නා අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට සැලැසුම්කර තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

ඉන්දියාවට මෙම ක්‍රමය හඳුන්වාදීමට මුල් වූ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් පසුගියදා මෙරටට පැමිණ ඒ සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව ද කිරිඇල්ල මහතා අවධාරණය කළේය.

නවකවදය පාලනයකර විශ්වවිද්‍යාල තුළ විනය නිසිලෙස පවත්වාගෙන යෑමේ වගකීම උපකුලපතිවරුන්ට හා පාලක සභාවට පැවරෙන බැවින් එය හරියට ඉටු කළ නොහැකිනම් ඔවුන් ඉල්ලා අස්විය යුතු බවද හෙතෙම කීය.

දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව අදාළ ආයතන ස්වාධීනව පවත්වාගෙන යාහැකි පසුබිම වත්මන් රජය ලබාදී ඇති බැවින් උපකුලපතිවරු හා පාලක මණ්ඩල අදාළ වගකීම් බාරගත යුතු බවද කිරිඇල්ල මහතා පැවසුවේය. 

Share on Google Plus