උදයංග වීරතුංගට අධිකරණ නියෝගයක්



ශ්‍රී ලංකන් ගුවන් හමුදාවට මිග් - 27 ගුවන් යානා 04ක් මිලදී ගැනීමේදී සිදු වූ බරපතල මුල්‍ය වංචා පිළිබඳව සිදු කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සහය ලබාදෙන ලෙසත් ජුලි මස 15 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) නියෝග කළේය.

2006 වසරේ සිදු වූ මෙම මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගණුදෙනුවේදී රුපියල් මිලියන 372ක මුදලක් වංචා කිරීම පිළිබඳව විමර්ශන මේ වනවිට සිදු කරමින් පවතී. එහි ප්‍රධාන වග උත්තර කරුවෙකු වන උදයංග වීරතුංග මෙම පරීක්ෂණවලට මුහුණ නොදී විදේශ ගතව සැඟවී සිටියි.

උදයංග වීරතුංග යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ඥාති පුත්‍රයෙකි. මෑතදී මහින්ද රාජපක්ෂ විදේශ ගත වූ අවස්ථා 02කදී උදයංග වීරතුංග ඔහු හමුවූ බවට ඡායාරූප සහිත මාධ්‍ය වාර්තා පළවිය.

අධිකරණයේ මෙම නියෝගයත් සමඟ ජාත්‍යන්තර පොලිසිය හරහා උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ හැකි බවට නීති විශාරදයින් පවසති. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත සිදු වූ මෙම මහාපරිමාණ වංචාව පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයේ සේවය කළ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි උසස් නිලධාරියෙකු විසින් ඉතා වැදගත් ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර ඇතැයිද පැවසේ.

Share on Google Plus