තාජුඞීන් ඝාතනයේ රහස් වාර්තාවක් පිටවෙයි.


රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය වී සතියක් යන්නට මත්තෙන් එම ඝාතනය රිය අනතුරක් නොවන බවට සැකයක් පවතින බව දන්වා එවකට ‍පොලිස්පතිවරයාව සිටි එන්.කේ. ඉලංගකෝන් මහතාට රහස් වාර්තාවක් ලබාදී ඇතැයි ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ඞී.ආර්.එල්.රණවීර මහතාට ‍පොලිස්පතිවරයා පෞද්ගලිකවම කතාකර එම වාර්තාව ගෙන්වාගෙන ඇති බවද විමර්ශනවලින් හෙළි වී ඇත.

තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කිසිදු විමර්ශනයක් භාරදී නැති බවද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එහෙත් ‍පොලිස්පතිවරයාගේ නියෝග ප‍්‍රකාරව ඔහුට රහස් වාර්තාවක් ලබාදීමට පමණක් කොළඹ අපරාධ කොට්ඨාසය පියවරගෙන තිබෙනවා.

තාජුඞීන්ගේ මරණය සැකසහිත බව කොළඹ අපරාධ කොට්ඨාසයේ රහස් වාර්තාවකින් ‍පොලිස්පතිවරයාව දැනුවත් කර තිබියදීත් 2015 වසරේ ආණ්ඩු පෙරළිය සිදුවනතුරුම එම පරීක්ෂණ රහස් ‍පොලීසියට භාරදී විධිමත් ආකාරයට සිදු නොකිරීම ගැටලූ‍ සහගත බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ඒ අනුව ඉදිරියේදී අවශ්‍ය උපදෙස් ලබාගෙන හිටපු ‍පොලිස්පතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි අදාළ වාර්තා පවසන්නේ.

-SLM

Share on Google Plus