තාජුඩීන් ඝාතනය වසන් කරන්න පොලිස් ලොක්කෝ තැත් කළාද?


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ‍කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පැවැත්වූ විමර්ශන හිටිහැටියේ නවතා මරණය මාරක රිය අනතුරකින් සිදු වූවක් බවට වාර්තා සැපයීම මේ ඝාතනය වසන් කිරීමට ඝාතකයන් සමඟ පොලිසියේ උසස් නිලධාරීන් කටයුතු කර ඇති බවට සැකයක් පවතිනබවට රහස් පොලිසිය ඊයේ (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා වෙත දැන්වීය.

තවද කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එල්. ආර්. රණවීර මහතාගේ උපදෙස් මත තාජුඩීන්ගේ ජංගම දුරකථන ඇමතුම් වාර්තා වෙනත් නඩුවක අධිකරණ නියෝගයක් මත ලබාගෙන රාජ්‍ය බුද්ධි ප්‍රධානිට ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සිද්ධියේ විමර්ශන වූ ආකාරය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ අංක 5 ස්ථානාධිපති ලෙස සේවය කළ දැනට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විමර්ශන නිලධාරියකු ලෙස රාජකාරි කරන හිටපු පොලිස් පරීක්ෂක සමුද්‍ර සුදේශ් විජේසිංහගේ ප්‍රකාශයක් ලබාගත් බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රණවීර මහතාගේ නියෝග මත තාජුඩීන්ගේ මරණය පිළිබඳ පරීක්ෂණ සිදු කළ බවත් ඔහු පවසා තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එල්. ආර්. රණවීර මහතාගේ නියෝගයකට අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් පැවැති අංක B 6802/1/11 දරණ නඩුවේ නියෝගයක් උපයෝගී කරගෙන දුරකථන අංක කිහිපයක ඇමතුම් වාර්තා ලබා ගත් බවට පවසා ඇති විජේසිංහ මහතා මරණකරු වන තාජුඩීන්ගේ ජංගම දුරකථන අංක 0777354500 අංකය ඇමතුම් වාර්තාවක්ද ලබා ගැනීමට කටයුතු කළ බවට සඳහන් කර සිටී.

එම අංකය ඒ වන විට ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් කපිල හෙන්ද්‍රාවිතාරණ මහතා වෙත ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රණවීර මහතා වෙත ලබා දුන් බවට ප්‍රකාශ කර සිටී.

ඩයලොග් සමාගමේ ප්‍රධාන විමර්ශන නිලධාරි වීරසිංහ මුදියන්සේලාගේ ප්‍රේමසිරි රත්නායක රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජනරාල් කපිල මහතාගේ ඉල්ලීම මත තාජුඩීන්ගේ ඇමතුම් වාර්තාව 2012.03.11 සිට 2012.05.19 දක්වා කාලයට අදාළව සවිස්තර වාර්තාවක් 2012.05.20 දින Sudesh@yahoo.com සහ විද්‍යුත් තැපෑලට යැවූ බවය.

එම විද්‍යුත් ලිපිනය කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 5 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමුද්‍ර සුදේශ විජේසිංහගේ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අනුව වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පැහැදිලි විමර්ශනයක් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වීඇති බවට ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

තවද නියමිත ක්‍රමවේදවලින් බැහැරව වෙනත් අධිකරණයක විභාගවන නඩුවක අධිකරණ නියෝගයක් උපයෝගී කර ගනිමින් ජාතික බුද්ධි ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු ලබාගන්නා ප්‍රධාන නිලධාරියා වන ජාතික බුද්ධි ප්‍රධානි මගින්ද තොරතුරු ලබා ගනිමින් ආරම්භ කර ඇති තාජුඩීන්ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ දින දෙක තුනක් ඇතුළත නවතා දමා මෙම මරණය මාරක රිය අනතුරක් බවට වාර්තා ලබා දෙමින් අවසානයේ උසස් නිලධාරීන් කටයුතු කර ඇති බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

මේ අනුව ඝාතනය රිය අනතුරකින් සිදු වූවක්බවට පොලිසියේ උසස් නිලධාරීන් තීරණය කිරීමෙන් මනුෂ්‍ය ඝාතනය වසන් කිරීමට මොවුන් ඝාතකයන් සමඟ කටයුතු කර ඇති බවට ප්‍රබල සාධාරණ සැකයක් පවතින බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මීට අමතරව 2012.05.17 උදේ 6 -6.30 කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ තිබී මුදල් පසුම්බිය අහුලා ගත් වෙම්බඩි බාස්කරන් නමැත්තාගෙන් නැවත ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් බවත් පසුම්බිය අහුලා ගත් දිනට පසු දින පොලිස් නිලධාරින් දෙදෙනෙකු ජීප් රථයකින් පැමිණ තමා කිරුළපන පොලිස් ස්ථානයට, නාරාහේන්පිට පොලිස් ස්ථානයට හා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ප්‍රකාශ ලබා ගත් බවට ඔහු රහස් පොලිසිය වෙත පවසා ඇත.

නමුත් කොළඹ අපරාධ කොට්ඨාසයේ එවැනි ප්‍රකාශයක් නොමැති බවට දන්වා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මෙම ඝාතන සිද්ධියට අදාළ නඩුව ඊයේ (23) යළි අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා යන සැකකරුවන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා පැවසුවේ සී. සී. ටී. වී දර්ශන කැනඩාවේ බ්‍රිටිස් කොලොම්බියා යැවීමට සූදානම් බවත් අගෝස්තු මාසයේදී එම වාර්තාව අධිකරණය වෙත ලබා දීමට හැකි බවත්ය.

මුදල් පසුම්බිය සම්බන්ධ විමර්ශන පවත්වන බවත් රිය අනතුර වූ ස්ථානයේ ඡායාරූප කොළඹ අපරාධ කොට්ඨාස වෙත ලබා දුන් පොලිස් නිලධාරියාගේ ප්‍රකාශයක් ලබා ගත් බව සඳහන් කළ නීතිඥවරයා විමර්ශන තවදුරටත් පවත්වන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.

වෛද්‍ය සභාව නියෝජනය කරමින් එහි නීතිඥවරිය පැවසුවේ වෛද්‍යවරුන් හතර දෙනෙකුට එරෙහි වෛද්‍ය සභාව විමර්ශන ආරම්භ කර ඇති බවය.

පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා සිය සේවාදායකයාගේ ප්‍රකාශය මඟින් ඔහුගේ නිර්දෝෂිභාවය ඔප්පු වී ඇති බවත් මාස 2 ½ සිට බන්ධනාගාරගතව සිටින ඔහු ඇප මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

දෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා වසර 10ක සිට වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා බව පැවසීය.

සිය සේවාදායකයා හදවත් රෝගයෙන්ද පෙළෙන බව පැවසු ජනාධිපති නීතිඥවරයා සැකකරු බන්ධනාගාරගතවීමෙන් ඔහුගේ ජීවිත අවදානමක් මෙන්ම පිළිකා තත්ත්වයේ මුල් අවස්ථාවක්ද ඇතිව තිබෙන බව පැවසීය. තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සානුකම්පිත හේතු හා වෛද්‍ය හේතු මත ඔහුට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා පෙන්වා දුන්නේ ඇප පනතේ 13 වගන්ති ප්‍රකාරව මිනීමැරීමට සැකකරන පුද්ගලයෙකුටමෙම අධිකරණය තුළ ඇප ලබා දීමට අධිකරණ බලයක් නොමැති බව ය.

තවද බන්ධනාගාර ‍රෝහල් අධිකාරි වෛද්‍ය වාර්තා අනුව මිසක් පුද්ගලික වෛද්‍ය වාර්තා මත කටයුතු සිදු නොකළ යුතු බවට හෙතෙම අවධාරණය කළේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දෙවන සැකකරුගේ වෛද්‍ය නිරීක්ෂණ වාර්තාවක් බන්ධනාගාර අධිකාරි මඟින් අධිකරණයට සැකකරු පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට කැඳවු බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර නිර්දේශ ලබා ගැනීම සැකකරු පිළිබඳ යම් නිගමනයකට පැමිණිමට පවතින සාධකයක් වන බව පවසමින් දෙවන සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මීට අමතරව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පළමු සැකකරු අපරාධ නඩු සංග්‍රහයේ 127 කරන ලද ප්‍රකාශය පරීක්ෂාකර ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.

සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන මස 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත විණ. 

Share on Google Plus