රටම කතා කරන අර්ජුන මහේන්ද්‍රන් එක්ක මුහුණට මුහුණ : Special Interview


 ඔබ පිළිබඳව මේ දිනවල වැඩිපුරම කතාබහ වෙනවා. පාර්ලිමේන්තුවේ, ජනමාධ්‍යවල, විපක්ෂය තුළ, කෝප් කමිටුවේ වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ ඔබ. ඒ ඇයි?

එහෙම කතාබහට ලක්වීම හොඳයි. මගේ සේවය අවංකවම මං රට වෙනුවෙන් ඉටුකරනු ලබනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස මං ඉටුකරන සුවිශේෂී කාර්යභාරය නිසා මා ගැන කතා වෙනවා ඇති.

• ඔබ ශ්‍රී ලංකාව වෙනුවෙන් අවංක සේවයක් ලබාදෙන බව කිව්වට ඔබ සිංගප්පූරු පුරවැසියෙක් නේද?

2004 වර්ෂයේදී මට සිංගප්පූරුවට යන්න වුණා. මං පුරවැසිභාවය ලබා නොගත්තා නම් සිංගප්පූරුවේදි මා කළ රැකියාව මට නැති වෙන්න බොහෝ දුරට ඉඩ තිබුණා. එහිදී මට සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබාගන්න පුළුවන් වුණු නිසා එය ලබා ගත්තා. ඒක වරදක් ලෙස මං දකින්නේ නැහැ.

• ඇත්තටම ඔබ ඉපදුණේ කොහේද?
ඇමෙරිකා එක්සත් ජනපදයේ.

• ඔබගේ සම්පූර්ණ නම?
අර්ජුන ලක්ෂ්මන් මහේන්ද්‍රන්.

• අධ්‍යාපන කටයුතු කළේ කොහේද?
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන්පසුව අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන්.

• අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ. රනිල් වික්‍රමසිංහ මහතා ඔබගේ හොඳ මිත්‍රයෙක් වන නිසාද ඔබ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට මෙසේ පත්කර තිබෙන්නේ?

නැහැ. මගේ සුදුසුකම් අනුවයි මෙම පත්කිරීම සිදුකරන ලද්දේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉහළම ආයතනවල කටයුතු පිළිබඳව මට අත්දැකීම් තිබෙනවා. මං සිංගප්පූරුවට යන්නට පෙර වසර 10කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක් වශයෙන් සේවය කළා. මේ කාලය තුළ මුදල් අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ වගේම බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා තිබෙනවා. ලෝකයේ කීර්තිමත් මූල්‍ය ආයතනවල මා ඉහළ කළමනාකාරිත්වයේ වගකීම් දරා තිබෙනවා. විදේශ රටවල, මූල්‍ය ආයතනවල කළමනාකාරිත්ව වගකීම් මා දරා තිබෙනවා. ඒක නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද ඕනෑවටත් වඩා මා සපුරා තිබෙනවා.

• නමුත් අග්‍රාමාත්‍යවරයාගේ වුවමනාවට ඔබව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත් කළා කියලා ප්‍රබල රාවයක් පවතිනවා. එහි සත්‍යතාවක් තිබෙනවාද?

රට වෙනුවෙන් මගේ සේවය ලබාගන්න ඕනෑ නිසා මාව පත්කරන්න ඇති.

• ඔබට කෙතරම් චෝදනා එල්ල වුවත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඔබව දිගින් දිගටම ආරක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ චෝදනා නඟනවා?

ඕනෑම කෙනකුට ඕනෑම චෝදනාවක් එල්ල කරන්න පුළුවන් නිදහසක් වත්මන් ආණ්ඩුව යටතේ ලැබිලා තියෙනවා. මට එල්ලවෙලා තිබෙන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් මට සාධාරණයක් ඉටුවෙයි කියලා මං විශ්වාස කරනවා.

• නමුත් ඔබට එල්ල වී තිබෙන චෝදනා බරපතළයි නේද?

ඔය පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවලින් මට එරෙහිව පැවැරූ නඩු කටයුතුවලින් මා නි‍ෙදාස් වී තිබෙනවා.

• එසේ නම් පසුගිය වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 5,000 සිට විශාල අලාභයක් රටට සිදුකළා කියලා ඔබට බරපතළ චෝදනාවක් එල්ල වෙනවා නේද?

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක්. කිසිදු අවස්ථාවක රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බැඳුම්කර හෝ බිල්පත් එකතුවකට පෙර පලදා අනුපාතිකය ප්‍රකාශයට පත්කරන්නේ නැහැ. මෙම චෝදනාව පෞද්ගලිකව මටත්, පොදුවේ මහ බැංකුවටත් මඩ ප්‍රහාර එල්ල කිරීමක්. මෙම අසත්‍ය චෝදනා මේ රටේ පොදු ජනතාව පිළිගන්නේ නැහැ.

• ඔබගේ බෑනාගේ සමාගමකට වැඩි ලාභ ලබාදීමේ අරමුණෙන් ඔබ කටයුතු කරනවා කියලා තවත් ප්‍රබල චෝදනාවක් එල්ල වෙනවා?

මේක අලුත් දෙයක් නෙවෙයි. මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් එදිනෙදා ඉටුකරනු ලබන රාජකාරියක්. මෙහි තීරණ ගන්නේ කවුද? තීරණ ගන්නේ ටෙන්ඩර් මණ්ඩලයයි. ඔවුන් ගන්නා තීරණ අනුමත කිරීම පමණයි මා කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානියා වශයෙන් එය අනුමත කිරීම මා හට පැවැරී තිබෙනවා. එසේ කෙනකුට අසාධාරණ ලෙස වාසි සැලැසීමක් මෙහිදී සිදුවෙන්න බැහැ. සාමූහික තීරණ ගන්නා විට එවැනි දේවල් වෙන්නේ නැහැ. එවැනි අයුක්ති සහගත ක්‍රියාවලි නැවැත්වීමටයි එවැනි ක්‍රියාවලියක් සකසා තිබෙන්නේ. මං ඉතා වගකීමෙන් කියනවා මේක මං කළ බිස්නස් එකක් නෙවෙයි කියලා.

• නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී මොකක් හරි අවුලක් වෙලාම නැද්ද? මෙම සිද්ධිය ගැන කී පැත්තකින් චෝදනා එල්ලවෙනවාද?

මං කලින් තේරුම් කරලා දුන්නා. මම යළිත් කියන්නම්. 9.5%ක පලදා අනුපාතිකය ප්‍රකාශයට පත් කරලා 12.5%ක පලදා අනුපාතිකයකට බැඳුම්කර නිකුතුව සිදුකළා කියලා තමයි සමහරුන් මෙතැන අවුලක් ඇති කරන්න හැදුවේ. මේක මුළුමනින්ම අසත්‍ය චෝදනාවක් කියලා මං ඉතා වගකීමෙන් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

• ඔබ ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරනවා. ඒ සඳහා රජයේ මුදල් විශාල ලෙස වියදම් කරන බවටත් ඔබට එරෙහිව ඉතා බරපතළ අන්දමින් චෝදනා එල්ල වෙනවා. විපක්ෂයේ අය පමණක් නොවෙයි, ආණ්ඩුවේ ඇතැමුන් පවා ඔබව දැඩිලෙස විවේචනය කරනවා?

මගේ රාජකාරි අවශ්‍යතා වෙනුවෙන් පමණයි වියදම් දරන්නේ. ඕකත් කලින් වගේ අසත්‍ය චෝදනාවක්. මං කැමැතියි මා ගත කරන ජීවිතය සම්බන්ධයෙන් එල්ලවෙන චෝදනා මොනවද කියලා දැනගන්න?

• ඔබ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල නිවෙස භාවිත නොකර කොළඹ සුපිරි තරු පහේ හෝටලයක ජීවත් වෙනවා කියන්නේ ඇත්තද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත් වුණාට පසුව ශ්‍රී ලංකාවට ඇවිත් මං වාසය කළේ කොළඹ පිහිටි මගේ පෞද්ගලික ගෙදර. රාජකාරි කටයුතුවලදී බෞද්ධාලෝක මාවතේ තියෙන ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට හිමි නිල නිවෙස භාවිත කරනවා. ඔය කියන තරු පහේ සුපිරි හෝටල්වල මං නතර වෙලා නැහැ.

• ඔබ 38 වතාවක් විදේශගත වුණාද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ වියදමින් මං විදේශගත වෙලා තියෙනවා නම් ඒ සියල්ල සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස මාගේ රාජකාරි අවශ්‍යතාවන්ට පමණයි.

• එක් කෑම වේලකට ඔබට රුපියල් ලක්ෂ 4 1/2ක් වැය වුණා කියන්නේ ඇත්තද?

භෝජන සංග්‍රහ ආදිය විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබාදීමට සිදුවෙනවා. ඒවගේ සංග්‍රහවලට අපි එදිනෙදා ආහාර ගන්නවාට වඩා වියදමක් යන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. එහෙම අවස්ථාවකදී හැර ඔය කියන ආකාරයෙන් රුපියල් ලක්ෂ ගණන් වියදම් කරලා ආහාර අරගෙන නැහැ. එහෙම රුපියල් ලක්ෂ ගණන් ආහාර සඳහා වැය කළා කියලා අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේ ඇයි?

• ඒ වගේම රුපියල් ලක්ෂ ගණන් වියදම් කරලා කෝට් (යුරෝපීය ඇඳුම්) 21ක් මිලදී ගත් බවටත් ඔබට චෝදනා එල්ල වෙනවා?

මගේ කෝට් එක දැන් අපේ රටේ තිබෙන ප්‍රසිද්ධම කෝට් එක බවට පත්කරලා තියෙනවා. නමුත් මං ඉතාමත්ම වගකීමෙන් කියනවා ඔය විදියට රුපියල් ලක්ෂ ගණන් වියදම් කරලා කෝට් අරගෙන නැහැ බැංකුවේ වියදමින්.

• මාස 10කට රුපියල් ලක්ෂ ගණනක මුදලක් වියදම් කළේ කුමකටද කියාත් චෝදනාවක් එල්ල වෙනවා?

මගේ නිල විදෙස් ගමන් සඳහා සිදුවන ඉඳුම්, හිටුම්, සංග්‍රහ ආදී වියදම් මගේ ණය කාඩ් පතෙන් සිදුකරනු ලබනවා. නිල වශයෙන් කරනු ලබන වියදම් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් මට ප්‍රතිපූර්ණය කර දෙනවා.

• ඔබ සිංගප්පූරුවේ විශාල වැටුපක් ලබන රැකියාවක් කළා නම් එය අතහැර පාඩුපිට ශ්‍රී ලංකාවේ රැකියාවක් කිරීමට ආවේ ඇයි?

විදේශවලදී මට ඉහළ වැටුපක් ලැබුණු බව ඇත්තයි. නමුත් යම් රටක මහ බැංකු අධිපති ධුරය කියන්නේ අති ගෞරවනීය නිලයක්. ජීවිත කාලයේදී එහෙම තනතුරක් දරන්න ලැබෙන්නේ කලාතුරකින්. එවැනි තනතුරක් පිළිගන්න මේ කාරණය හේතුවක්. වැළැක්විය නොහැකි හේතු නිසා මට විදේශගතව ජීවත්වීමට සිදුවුණා. දැන් යුද්ධය ඉවරයි. රට සාමකාමීයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟිලා. එවැනි පරිසරයක් තුළ ශ්‍රී ලංකාවට ආදරය කළ පුද්ගලයකු ලෙස මෙවැනි වගකීමක් මං භාරගත්තු එක ගැන සතුටුයි.

• ඔබගේ නිල කාමරයට ඇතුළු වීම සඳහා අවසර ලබාගැනීමට රතු ලයිට් ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවාද?

මං නිල කාමරය ලෙස භාවිත කරන්නේ කලින් හිටපු අධිපතිවරුන් භාවිත කරන ලද නිල කාමරයමයි. ඒ කලින් තිබුණු කිසිම දෙයක් වෙනස් කරලා නැහැ. ඒක නිසා ඔය කියන රෙඩ් ලයිට් කතාව මම නම් දන්නේ නැහැ.

• ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිගණක දත්ත වෙනස් කළ බවටත් චෝදනාවක් එල්ල වෙනවා?

මහ බැංකුවේ පරිගණක පද්ධතිය සම්බන්ධ කටයුතු කරන්නේ මම නෙවෙයි. ඒ සඳහා විශාල දෙපාර්තමේන්තුවක් සහ විශාල කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මෙම පරිගණක පද්ධතිය නිතරම හැකින් තර්ජනවලට ලක්වෙනවා. මේ වන විට ජාත්‍යන්තරය පිළිගත් ආරක්ෂක පද්ධතියක් උසස් ප්‍රමිතියට අනුව සකස් කරලා තියෙනවා. ලැප්ටොප් එකක ෆයිල් මකනවා වාගේ මේ පද්ධතිවල දත්ත විනාශ කරන්න බැහැ.

• ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා විගණකාධිපතිවරයාට ලබාදීමේ ප්‍රමාදයක් සිදුවූයේ ඇයි?

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් තොරතුරු රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සංවේදීයි. එම තොරතුරු බාහිර පාර්ශ්වයකට ලබා දෙන්න පෙර මහ බැංකුව නිසි තක්සේරුවක් කිරීම අවශ්‍යයි. ඒක මුදල් නීති පනතේ සඳහන් කර තිබෙනවා. මෙහිදී අපි කටයුතු කළේ නීතිමය උපදෙස් ඇතිවයි.

• රට වසර දෙකකින් ගොඩනඟන බව ඔබ ප්‍රකාශ කරන්නේ කොහොමද?

මෙරට සංවර්ධන සඳහා දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.5ක් වෙන් කරලා තියෙනවා. ලෝක බැංකුව ඩොලර් මිලියන 500ක්ද, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100කින්ද, ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5කුත් දැනටමත් ලැබිලා. ජපානයෙන් ඩොලර් බිලියන 4.7ක් ලැබෙන්නට නියමිතයි. තවත් බොහෝ රටවලින් ආධාර ලැබීමට නියමිතයි. විශේෂයෙන්ම මෙම ණය මුදල්වල පොලී අනුපාතිකය 2%කට වඩා අඩු වීම විශේෂත්වයක්. ඒවා ආපසු ගෙවිය යුත්තේ වසර 15කට පසුවයි. ඒක අපේ රටට ඉතා විශාල වාසියක්.

• ඔබගේ සේවා කාලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දීර්ඝ කරයි කියා සිතනවාද?

ඒක තීරණය කරන්න ඕනෑ අතිගරු ජනාධිපතිතුමා. මං ආවේ බොහොම සද්භාවයෙන් රට වෙනුවෙන් සේවය කරන්න. මං ඒ සේවය අවංකවම ඉටු කරමින් ඉන්නේ. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මේ ගැන විමර්ශනයක් සිදුකරන එක හොඳයි. කෝප් කමිටුවෙන් මා හට සාධාරණයක් ඉටුවේවි කියා මා බලාපොරොත්තු වෙනවා.

-ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු 

Share on Google Plus