ශ්‍රීලනිපය - ඒකාබද්ධ විපක්‌ෂය සාකච්ඡා ඇරඹේ.


ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආපසු ශ්‍රීලනිපය වෙත එක්‌කර ගැනීමේ අරමුණින් දෙපාර්ශ්වය නැවත ඉතා ඉක්‌මනින් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව ඒකාබද්ධ විපක්‌ෂය පාර්ශ්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද ආණ්‌ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය වෙනුවෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මහලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතාද මෙම සාකච්ඡා සඳහා නායකත්වය ලබා දෙනු ඇත.

මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හි ප්‍රධානම අරමුණ වනුයේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් නොබෙදුනු තනි පක්‌ෂයක්‌ ලෙස ශ්‍රීලනිප ඉදිරිපත් කිරීම වෙනුවෙන් බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු පැවැසීය.

එම ජයග්‍රහණය මතින් ඉදිරි වසර කිහිපය තුළ පැවැත්වෙන පළාත්, පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ යන මැතිවරණ ජයග්‍රහණය කොට ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ පිහිටුවීමද අරමුණු කෙරේ.

මෙම සාකච්ඡාවන් සඳහා එක්‌වීමට නම් තම සාමාජිකයන් ඉදිරියේදී ශ්‍රීලනිපය තුළ කොන් නොකළ යුතු බවට මේ වනවිට ඒකාබද්ධ විපක්‌ෂයෙන් කොන්දේසියක්‌ ඉදිරිපත් කොට ඇතැයිද ඉහත ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමැති ඇමැතිවරුන්ට දක්‌වන සැලකිල්ල පක්‌ෂය තුළ තම පාර්ශ්වයේ සාමාජිකයන් වෙතද දැක්‌විය යුතු බවටද ඒකාබද්ධ විපක්‌ෂය යෝජනා කර ඇත. මෙම සාකච්ඡාවන් සඳහා අවංකවම හදවතින් දායකවීමට කැමැති බව ඒකාබද්ධ විපක්‌ෂයත් ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසත් මේ වන විට ශ්‍රීලනිප නායකයන්ට දන්වා ඇති අතර ඔවුන්ද එලෙසම ක්‍රියා කළ යුතු බවටද යෝජනා කර තිබේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවීමේ කටයුතු සඳහා අවතීර්ණ වනවා මිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නැවත අගමැති ධුරයට පත් කිරීමක්‌ පිළිබඳ සාකච්ඡා නොකරන බවට දෙපාර්ශ්වයම වගබලා ගනු ඇතැයිද ඉහත ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක්‌ වැඩිදුරටත් කීය.

Share on Google Plus